නමෝ තස්ස භගවතො අරහතො සම්මා සම්බුද්ධස්ස

යථාපි රුචිරං පුප්ඵං - වණ්ණවන්තං අගන්ධකං
එවං සුභාසිතා වාචා - අඵලා හෝති අකුබ්බතො

යථාපි රුචිරං පුප්ඵං - වණ්ණවන්තං සගන්ධකං
එවං සුභාසිතා වාචා - සඵලා හෝති පකුබ්බතො

ශ්‍රද්ධාවන්ත පින්වතුනි,

ලෝවුතුරා බුද්ධත්වයට පැමිණ වදාළ ඒ අපේ තිලෝගුරු බුදුපියාණන් වහන්සේ දෙව් මිනිසුන් සහිත ලෝකයාට ධර්මමචක්කප්පවත්තන සූත්‍රයෙන් ප්‍රථම වරට ධර්ම දේශනාව පැවැත් වූයේ අද වගේ ඇසළ පුරපසළොස්වක පෝය දවසකයි. අද පවා අපි මේ ධර්ම දේශනා පවත්වන්නෙ, එදා ඒ පළමුවරට පෙරළූ ධර්ම චක්‍රයේ ආනුභාවයෙනුයි. සද්ධර්මය, බුද්ධ වචනය, කියල කියන්නෙ එහෙම පිටින්ම සුභාෂිතයක්. මෙන්න මේ සුභාෂිත බුද්ධ වචනය, එය ප්‍රතිපත්තියට නොනගන තැනැත්තාට වර්ණවත් සුවඳ නැති මලක් වගේ නිෂ්ඵල වන බවත්, ඒක වර්ණ සම්පන්න වගේම සුවඳවත් මලක් බවට පත්වන්නෙ එය ප්‍රතිපත්තියට නගන කෙනාට බවත් ප්‍රකාශ කෙරෙන ගාථා දෙකකුයි අද අපි මාතෘකාව හැටියට තෝරා ගත්තේ.

මේ ගාථා දෙක දේශනා කරන්ට යෙදුනෙ ඡත්තපාණී උපාසකතුමා හා සම්බන්ධ යම් කිසි කථා පුවතක් නිසයි. ඒක පොත පතේ දැක්වෙන්නෙ මෙහෙමයි. සැවැත්නුවර වාසය කළා ඡත්තපාණි කියල අනාගාමී, ඉතාමත් හොඳ ධර්ම ඥාණය ඇති උපාසක මහත්මයෙක්. එක දවසක්දා මේ උපාසක මහත්මයා බුදුපියාණන් වහන්සේ දකින්න ආවා, උදෑසනම. ඇවිත් ධර්ම කථාවකට සවන් දීගෙන ඉන්න අවස්ථාවේ පසේනදි කොසොල් රජ්ජුරුවෝ එතෙන්ට පැමිණියා. ඒක දැකලා මේ උපාසකතුමා කල්පනා කරනවා දැන් මේ සාමාන්‍ය චාරිත්‍රය හැටියට මම රජ්ජුරුවෝ දැකල නැගිට්ටොත් එහෙම ඒක ශාස්තෘන් වහන්සේට කරන අගෞරවයක්. මොකද, ඒක හරියට අග්‍රරාජයන් ළඟ ඉදිද්දී ප්‍රදේශ රාජයකු දැකල නැගිටීම වගේ දෙයක් වෙනව. මම දන්නවා දැන් ඒක මම නැගිට්ටෙ නැත්නම් රජ්ජුරුවෝ මා එක්ක තරහ වෙනව. ඒකට කමක් නෑ. ‘තරහ වුනාවේ’ කියල නොනැගිට හිටියා. ඒ වගේම රජ්ජුරුවන්ට මේක දැකල යම්කිසි අමනාපයක්, කෝපයක් වගේ දෙයක් ඇති වුනා. ඒ රජ්ජුරුවන්ගේ හිත දැකලා බුදු පියාණන් වහන්සේ රජ්ජුරුවන්ට අර උපාසක මහත්මයාගේ ගුණ ප්‍රකාශ කරනවා. මේ ඡත්තපාණී උපාසක උන්නැහේ බොහොම හොඳනරක තේරෙන - අනාගාමී කියල කිව්වේ නෑ - ආර්ය පුද්ගලයෙක්ය කියන හැඟීම දුන්න රජ්ජුරුවන්ට, වටිනා කෙනෙක් කියල. ඉතින් රජ්ජුරුවන්ගේ හිත ටිකක් මෘදු වුණා.

පස්සේ දවසක රජතුමා රජමැදුරේ මතු මහල් තලයේ ඉන්න අවස්ථාවක දැක්කා ඡත්තපාණී උපාසක මහත්මයා කුඩයකුත් ඉහලාගෙන, පාවහන් දාගෙන රජමිදුලෙන් යනවා. දැකලා පණිවුඩ කරුවෙකු යැව්වා එන්න කියලා. ඒ පණිවුඩය ලැබුන හැටියෙම ඡත්තපාණි උපාසක තුමා ඒ කුඩෙන් ඉවත් කරලා, පාවහන් ඉවත් කරලා රජ්ජුරුවෝ දකින්න ආවා. ඇවිල්ල එකත් පසක හිටියාම, රජ්ජුරුවෝ අහනවා මොකද අර කුඩයත්, පාවහනුත් ඉවත් කළේ කියලා. එතකොට උපාසක තුමා කියනවා, ඔබ තුමා කථා කළා කියල කිව්ව නිසාය ඒක කළේ කියල. අදද අපි රජබව දැනගත්තෙ කියල අහුවා. නෑ අපි කවදත් දන්නවා දෙවයන්වහන්සේ රජබවත්. එහෙනම් මොකද අර එදා මා දැකලා නැගිට්ටේ නැත්තෙ? අන්න එතකොට කිව්වා අගරජ කෙනෙක් හමුවේ ඉද්දී ප්‍රදේශරාජයෙක් දැකලා නැගිටීම ඒ අග්‍රරාජයාට කරන අගෞරවයක් කියල හිතලා මම ශාස්තෘ ගෞරවය නිසා නැගිට්ටේ නැතෙයි කියලා.

ඔන්න ඉතින් ඒකෙන් රජතුමා හිත සකස් කරගෙන, “හොඳයි ඒකට කමක් නෑ ඒ කාරණය තිබුණාවේ. මට අහන්න ලැබුන ඔය උපාසක උන්නැහේ බොහොමම ධර්මය දත් හොඳ - නරක දන්න කෙනෙක් කියල. ඒක නිසා බැරිද අපේ අන්තඃපුර බිසොවුන්ට ධර්මය දේශනා කරන්න.” ඒකනම් බැරිය කියල කිව්වා. මොකද කියල ඇහුවම කිව්ව, මේ රජගෙදර කියන එක බොහොම යුතු අයුතුකම් තෝරාගන්න අමාරු බොහොම බරපතල වැරදි වලටත් පටලැවෙන විදියේ තැනක්ය කියලා. එතකොට රජ්ජුරුවෝ කියනවා එහෙම කියන්න එපා මා එදා දැකලා නැගිට්ටේ නැතෙයි කියල ඒකට කුකුසක් ඇතිකර ගන්න එපාය කියල. නමුත් උපාසක තුමා නැවතත් කියනවා. ඒ නිසා නෙවෙය ගිහියෙක් ඒ වගේ කටයුත්තක යෙදෙන කොට නොයෙකුත් ප්‍රශ්න පැන නගිනවා. පැවිදි කෙනෙක්, සංඝයා වහන්සේ කෙනෙක්, ඒ සඳහා වැඩම කරන්න සලස්සව ගන්න කියල. ඉතින් රජතුමාත් හොඳයි එහෙනම් යන්න උපාසක උන්නැහේ කියල යවලා ඉවර වෙලා බුදුපියාණන් වහන්සේ හමුවෙන්න ගිහිල්ලා බුදු පියාණන් වහන්සේට ආරාධනා කරනවා නිතිපතා සංඝයා වහන්සේලාත් සමග ඇවිල්ල ධර්මය දේශනා කරන්න අපේ බිසෝවරුන්ට. මොකද මේ මල්ලිකා දේවියත් වාසභඛත්තියා බිසවත් බණ අහන්න ඕනෙයි කියල නිතර කරදර කරනවය. නිතර ඉල්ලා හිටිනවා කියල. බුදු පියාණන් වහන්සේ වදාළා බුදුවරු එහෙම එක තැනකටම නිරන්තරයෙන් යන්නෙ නෑ කියලා. එහෙනම් අපට එක භික්ෂූන් වහන්සේ නමක් ලබා දෙන්න කියල කිව්වම බුදුපියාණන් වහන්සේ ඒ කටයුත්ත භාර කළා ආනන්ද ස්වාමීන් වහන්සේට.

ඉතිං ආනන්ද ස්වාමීන් වහන්සේ නිතිපතා රජගෙදරට යමින් ඒ මල්ලිකා දේවියටත්, වාසභඛත්තියා බිසවටත් ධර්මය දේශනා කරනවා, කියල දෙනවා. එක දවසක් බුදු පියාණන් වහන්සේ අහනවා “කොහොමද ආනන්ද, උපාසිකාවන් ධර්මය ඉගෙන ගන්නවද?” “එහෙමයි ස්වාමීනි” කවුද වැඩිය හොඳින් ඉගෙන ගන්නෙ? මල්ලිකා දේවිය නම් හොඳට ඉගෙන ගන්නව භාග්‍යවතුන් වහන්සේගේ ඥාති දියණිය වන වාසභඛත්තියා හරියට ඉගෙන ගන්නෙ නැතෙයි කියල කිව්ව. අන්න ඒ අවස්ථාවේ තමයි බුදුපියාණන් වහන්සේ අපි අර මාතෘකා වශයෙන් ඉදිරිපත් කළ ගාථා දෙක දේශනා කළේ. මේ ධර්මය හරියට අර්ථවත් වෙන්නෙ ඒක හරියට ඉගෙන ගෙන, ඒක දරාගෙන ඒක ක්‍රියාවට නගන කෙනාටයි කියන ඒ අදහස දෙමින් තමයි ඒ ගාථා දෙක වදාළේ. අපි ඒවායේ අර්ථයන් පැහැදිලි කර ගන්න බලමු.

යථාපි රුචිරං පුප්ඵං - වණ්ණවන්තං අගන්ධකං
එවං සුභාසිතා වාචා - අඵලා හෝති අකුබ්බතො

“යම්සේ රුචිය වඩන වර්ණවත් මලක් සුවඳ නැත්තේ වේද, එසේම සුභාෂිත වචනය එය ක්‍රියාවට නොනගන තැනැත්තාට නිෂ්ඵල වේ.” ඊළඟට අනික් ගාථාව :-

යථාපි රුචිරං පුප්ඵං - වණ්ණවන්තං සගන්ධකං
එවං සුභාසිතා වාචා - සඵලා හෝති පකුබ්බතො

“යම්සේ රුචිය වඩන වර්ණවත් මලක් සුවඳ ඇත්තේ වේද, එසේම සුභාෂිත වචනය එය ක්‍රියාවට නගන තැනැත්තාට ඵලවත්වේ.” ඵල ප්‍රයෝජන ඇත්තේ වෙයි කියල. ඒ විදියට ඒ ගාථා දෙක වදාළ.

එතකොට ඒ ගාථාවල නිදාන කථාව එහෙමයි. ඉතින් මේකේ ගාථාවල අර්ථයට බහින්න කලින් අපි මෙතෙක් මේ ප්‍රකාශ කළ නිදාන කථා වස්තුවෙනුත් යම් යම් ආදර්ශ වශයෙන් ගතයුතු දේවල් තියෙනවා. දැන් මේ ඡත්තපාණී උපාසක තුමා ඇත්ත වශයෙන්ම අන්න අර කියාපු විදියේ වටිනා චරිතයක්. අර සුවඳවත් මලක් වගේ බුද්ධ දේශනාව අනුව ඇතිකරගත්තු වටිනාකම් ‘සාරධර්ම’ අනුව ජීවත්වන කෙනෙක් බව ධර්ම ශක්තිය ඇති කෙනෙක් බව, ඒ කියාපු සිද්ධිය තුළින් අපට තේරුම් ගන්න පුළුවන්. රාජ ගෞරවයට වඩා ශාස්තෘ ගෞරවයට ඉඩ දෙමින් ඒ නිලතල ආදියට යට නොවී, එක්තරා ධර්ම ශක්තියක් ඇතිව ක්‍රියාකළ ආකාරය අර ඒ බුදුපියාණන් වහන්සේ ඉදිරියේ රජ්ජුරුවෝ දැක්කහම නොනැගිට ඉඳීමෙන් පේනවා. ඒක ඇත්ත වශයෙන්ම මේ කාලේ අයටත් හොඳ ආදර්ශයක්. මොකද, ධර්මයටයි මුල් තැන දිය යුත්තේ. ඒ විධියේ ඒ රාජ්‍ය බල ආදී ඒවාට නිවට නියාලු වන එක ධර්මයට කරන මදිකමක්. ඉතින් ඒ වගේම තමයි අනිත් කාරණය. රජ්ජුරුවෝ ආරාධනා කළාම සිතේ යම් කිසි ප්‍රසාදයක් ඇති කරගෙන, අර බිසෝවරුන්ට ධර්ම දේශනා කරන්නෙයි කියලා, සාමාන්‍ය කෙනෙක් නම් ඔන්න ඉතින් හොඳ ලාභ සත්කාර ලබා ගන්න රාජ පූජිත වෙන්න හොඳ අවස්ථාවක් කියල ඒක බොහොම හොඳයි දෙවයිනි, මම හෙටම එන්නම් එහෙම නැත්නම් අදම එන්නම් කියල ඒක බොහොම ඉහළින් පිළිගන්න, භාරගන්න විදියේ දෙයක්, බිසෝවරුන්ට බණ කීම. නමුත් මේ උපාසක උන්නැහේ දූරදර්ශීව කල්පනා කළා මේකේ තියෙන භයානකකම. මේවායින් නොයෙකුත් පටලැවීම් ඇති වෙන්න පුළුවන් බව තේරුම් අරගෙන අන්න ඒ අවස්ථාවේදීත් ඒ පාවිච්චි කළ වචනය රජතුමාගේ ඒ ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමට තරම් ශක්තිය තිබීම. ඒක බොහොම වටිනා ගුණයක්. අපි ඒ තුළින් තේරුම් ගන්න ඕන. අන්න අර වර්ණවත් සුවඳ ඇති මලක් වගේ ඒ ඡත්තපාණී උපාසක තුමාගේ චරිතය පිටුපසින් තිබෙනව.

දැන් අර බිසෝවරු පිළිබඳ පුවෘත්තිය, එතන ඒතරම් වැදගත් වෙන්නෙ නෑ. ඒක ආශ්‍රය කරගෙන බුදු පියාණන් වහන්සේ අපට දැක්වූ කාරණය මොකක්ද, ප්‍රධාන කාරණය, මේ ධර්මය කියන එක ඉගෙනීමට සීමා කළ යුතු දෙයක් නොවෙයි. මේක ප්‍රතිපත්තියට නැගුවාම තමයි මේ ධර්මයේ නියම ශක්තිය, ප්‍රයෝජනය ගන්න පුළුවන් වෙන්නෙ. අර කොච්චර ලස්සන උනත් මලක්, ඒකේ සුවඳ නැත්නම් ඒක හරියට කඩදාසි මලක් වගෙයි. කඩදාසි මලකින් නියම ප්‍රයෝජනයක් නෑ. අන්න ඒ කාරණයයි මෙතැනින් පෙන්නුම් කරන්නෙ. ඉතින් මේක ආශයෙන් අපි දැන් කල්පනා කරලා බලමු මේ සද්ධර්මය ගැන.

මේ සද්ධර්මය ගැන අපි කියන කොට මේ පින්වතුන්ට සිහියට නගාගන්ට පුළුවන් ධර්ම ගුණ හය. මේ කවුරුත් දන්නවනෙ ස්වාක්ඛාත, සන්දිට්ඨික, අකාලික, ඒහිපස්සික, ඕපනයික, පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤූහි කියන ගුණ හයක් තිබෙනව. මෙන්න මේ ගුණ හය තේරුම් කරපු ආකාරයෙනුත් අපට හිතා ගන්න පුළුවන් මේ සද්ධර්මය ඇත්ත වශයෙන්ම ප්‍රතිපත්තියට නැගීමට අභියෝගයක් වගේ දෙයක්. කෙටින්ම කියතොත් මේ ස්වාක්ඛාත වචනය බුදු පියාණන් වහන්සේ තෝරලා දුන්නෙ මේ විදියටයි. “මහණෙනි දුරක්ඛාත ධර්ම විනයේ - දුරක්ඛාත කියල කියන්නෙ දැන් ස්වාක්ඛාත කියල කියන්නෙ හොඳින් දේශනා කරන ලද, මැනවින් දේශනා කරන ලද, දුරක්ඛාත කියල කියන්නෙ නරක විදියට වැරදි විදියට දේශනා කරන ලද. ඒ වචන දෙක එහෙම තේරුම් ගත්තා නම් ඔන්න ඊළඟට බුදුපියාණන් වහන්සේ ප්‍රකාශ කරන පාඨය තේරුම් ගන්න පුළුවන් වෙනවා.”මහණෙනි දුරක්ඛාත ධර්ම විනයෙහි කුසීතයා සැපයෙන් වාසය කරනවා.” ඒ කියන්නෙ වැරදි විදියට එහෙම නැත්නම් හරියට දේශනා නොකරන ලද ධර්මයේ, ඒ ධර්ම විනය කියල කියන්නෙ ඒ ශාසනයේ, කුසීතයා, අලස මිනිහයි හොඳින් සැපයෙන් වාසය කරන්නෙ. ස්වාක්ඛාත ධර්ම විනයෙහි වීර්යවන්තයයි සැපයෙන් වාසය කරන්නෙ. හොඳින් දේශනා කරන ලද ධර්මයෙහි, ඒ ශාසනයක වීර්යවන්තයයි සැපයෙන් වාසය කරන්නෙ. මෙතැන බොහොම ගැඹුරු කාරණයක් කියවෙනව. මොකද අතන අර කුසීතයා සැපයෙන් වෙසෙනවා කියල කිව්වේ දුරක්ඛාත ධර්ම විනයේ? ඒ තුළින් අපට ඒ වචනයේ අර්ථයන් ගන්න පුළුවන්. දැන් අපි කිව්වනෙ වැරදි විදියට, එහෙම නැත්නම් නරක විදියට දේශනා කරන ලද ධර්මය කියන ඒ අදහස එනවා කියල දුරක්ඛාත කියන පදයේ. එතන අදහස මොකද? යම් ඉලක්කයක් ඉදිරිපත් කරනවා නම් ධර්මයකින් ඒ ඉලක්කය ඒ ධර්මය පිළිපැදීමෙන් ලැබෙන්නෙ නැත්නම් ඒක දුරක්ඛාත ධර්ම විනය. ස්වාක්ඛාත ධර්ම විනය කියල කියන්නෙ එයින් ඉදිරිපත් කරන දේ මේ මේ දේ - මේ ධර්මයෙන් ලබා දෙනවා කියල කිව්වොත් ඒක හරියාකාරව ඉෂ්ට වෙනවා. එතකොට නිෂ්ඵලයි අර යම් කිසි දුරක්ඛාත ධර්ම විනයක උත්සාහ දැරුවොත්, ඒක අප්‍රාර්ථ උත්සාහයක්. ඒකෙන් වැඩක් නෑ. ඒකයි කුසීතයා සැපෙන් වාසය කරනවා කීවේ. ස්වාක්ඛාත ධර්ම විනය ඵලවත් ධර්මයක් නිසා බලාපොරොත්තු වන ඉෂ්ටාර්ථ සදා දෙන නිසා, ඒ ශාසනයේ අන්ත වශයෙන්ම වීර්යවන්තයයි ඒ කියාපු ප්‍රතිඵල ලබාගෙන සතුටට පත් වෙන්නෙ, සැපසේ වාසය කරන්නෙ. ඔය අදහස. ඒ ස්වාක්ඛාත පදය.

ඒක ආශයෙන් ඊළඟට අනික් පදත් තේරුම් ගනිමු. මේ පින්වතුන් යම් යම් ප්‍රමාණයකට ඒවා ගැන අහල ඇති. සන්දිට්ඨික. ඊළඟට මේ ධර්මයේ විශේෂත්වය ඒතනයි. මහ ගැඹුරු අදහසක් එතන කියවෙන්නෙ. මේ ධර්මය ‘දැන් කරන්න ඊට පස්සේ ප්‍රතිඵල ලැබෙනව’ කියල කියන ඒ වගේ දෙයක් නෙවෙයි. සන්දිට්ඨිකයි මෙලොවම, ඇස් පනාපිටම, දකින්න පුළුවන් එහි ප්‍රතිඵල - ඒක විශේෂයි. සන්දිට්ඨික කියල කියන්නෙ අර ‘දිට්ඨේව ධම්මේ’ කියල කියන්නා වගේ මෙලොවම, මේ ජීවිතයේදීම අන්දකින්න පුළුවන්. ඊළඟට අකාලික කියල කියන්නෙ, කල් නොයවාම කියන්නෙ, ඒ කරන උත්සාහයත් ප්‍රතිඵලයත් අතර පරතරයක් නෑ. කොටින්ම කියතොත් මාර්ගයත් ඵලයත් අතර පරතරයක් නෑ. යම් ප්‍රතිපත්ති මාර්ගයක යෙදෙනවා නම් ඒ මාර්ගය අවසාන වෙන්නෙ ඵලයෙන්මයි. ආයි එතැන අතර තුරක් නෑ කියන අදහසින් අකාලික, කාලපරතරයක් එතැන නෑ - අකාලික. සන්දිට්ඨික, අකාලික. ඒහිපස්සික කියල කියන්නෙ මේ ධර්මය තුළම තියෙනවා ‘එහි බලව’ කියන අභියෝග ශක්තියක්. ඒ කියන්නෙ මේ ධර්මය ක්‍රියාත්මක කරලා බලන්න කියල ධර්මයම කෑගහලා කියන්නා වගේ දෙයක් මෙතන තියෙනව. ඊළඟට ඕපනයික කියල කියන්නෙ ‘එව බලව’ කිව්ව නම් ඊළඟට - ඒක ළඟට - තියෙන්නේ එක්කගෙන යාම, කැඳවාගෙන යාම, උපනයති කියල කියන්නේ සමීපයට එක්කරගෙන යාම. කොහාටද එක්කරගෙන යන්නේ? වෙන බාහිර තැනකට නෙවෙයි. හදවත තුළට ඇතුළට. ඕපනයික කියල කියන්නේ. මේ ප්‍රතිපත්තිවල ප්‍රතිඵලය ඇතුළතින්ම අන්දැකිය යුතු නිසා මේක පමුණුවා ගත යුත්තේ, මේ ධර්මය පමුණුවා ගත යුත්තේ ඇතුළතටමයි. ඊළඟට ඒක නිසාම තමයි අවසාන වශයෙන් කියන්නෙ ‘පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤූහි’ නුවණැත්තන් විසින් තම තමන්ම ප්‍රත්‍යක්ෂ කර ගත යුතු ධර්මයක්. වෙන කෙනෙකුට පෙන්නන්න බෑ. තම තමන්ට මේ ප්‍රතිපත්ති මාර්ගයේ ගිහිල්ල ප්‍රත්‍යක්ෂ කර ගත යුතු ධර්මයක්.

ඔන්න එතකොට ඒක ආශයෙන් අපට පේනවා ධර්මය එක පැත්තකින් වීර්යවන්තයන්ට අභියෝගයක්, මේක, මේ ධර්මය ක්‍රියාවට නගලා මෙයින් ප්‍රතිඵල ලබා ගන්න කියල. ඉතින් අන්න ඒ විදියේ වටිනා අදහසක් එතැන කියවෙනව. ඊළඟට අපි බලමු දැන් මේ බුදුපියාණන් වහන්සේ, දැන් අපි මුලදීම සඳහන් කළා ධර්මමචක්කප්පවත්තන සූත්‍රයෙන්ය මේ ධර්ම දේශනා ආරඹුවේ කියල. කෙටින්ම ප්‍රථම ධර්ම දේශනාව වශයෙන් අපේ ශාසනයේ දැක්වෙන්නෙ ධර්මමචක්කප්පවත්තන සූත්‍රයයි. ඇත්ත වශයෙන්ම ඒකේ හරයත් ප්‍රතිපදාව පිළිබඳ ප්‍රශ්නයයි. බුදු පියාණන් වහන්සේ ඒ දේශනාවෙන් ලෝකයාට දක්වා වදාළේ එක්තරා මධ්‍යම ප්‍රතිපදාවක්, අන්ත දෙකක් මැදින් යන ප්‍රතිපදාවක්, මොකක්ද අන්ත දෙක? කාමසුඛල්ලිකානුයෝග කියන කාම සුඛයේ ඇලී ගැලී සිටීම එක අන්තයක්, අනික් අන්තය අත්තකිලමථානුයෝගය කියල කියන අර ඒ කාලේ නිගණ්ඨයින් ආදී ඒ විවිධ ශාස්තෘවරුන් එහෙම දැක්වූ, අන්‍ය තීර්ථකයින් දැක්වූ, අධික ලෙස කයට වද දීමෙන් විමුක්තිය ලබා ගැනීමේ උත්සාහය. ඒ දෙකම අතහැරලා බුදුපියාණන් වහන්සේ මධ්‍යම ප්‍රතිපදාව නමින් අමුතුම ප්‍රතිපත්ති මාර්ගයක් දැක්වුවා. ඒක කෙටියෙන් දැක්වෙන්නෙ ආර්ය අෂ්ටාංගික මාර්ගය නමින්. මේ පින්වතුන් කවුරුත් ඒවා යම් යම් ප්‍රමාණයකට තේරුම් අරගෙන තිබෙනව. පුද්ගලයකුගේ ජීවිතය පිළිබඳ පූර්ණ පරිවර්තනයක් කරන්ට සමත් පියවර අටකින් යුක්ත, අංග අටකින් යුක්ත, මාර්ගය තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය කියල කියන්නෙ. සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි කියල කියන. ඉතින් ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගය හඳුන්වලා තියෙන්නෙ මැදුම් පිළිවෙතක් හැටියටයි. අන්න එතකොට ඒ මැදුම් පිළිවෙත කියල කියන ඒ කාරණයටයි අපි ඊළඟට එන්නෙ.

මේ මධ්‍යම ප්‍රතිපදාව තුළ තියෙන්නෙ අපි අර කලින් කියාපු වීර්යයමයි. මේ වීර්යය යෙදෙන ආකාරයක් තියෙනවා මධ්‍යම ප්‍රමාණයකට, එහෙම නැත්නම් එක්තරා වීර්ය සමතාවක් දැක්වෙන විදියේ ප්‍රතිපදාවක්. ඉතින් ඒකේදී අපි කල්පනා කරන්න ඕන මෙන්න මේ විදියට. දැන් බුදුපියාණන් වහන්සේ දක්වල තිබෙනව මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේම සම්මා වායාම කියලා එකක්. සම්මා වායාම කියල කියන්නෙ නියම වීර්යයක්. හරි ව්‍යායාමය කියල කියන්නෙ එතන නියම ආකාරයෙන්ම වීර්ය දැරිය යුතු හැටි. ඒකම හඳුන්වනව සම්මප්පධාන කියල. මේ ‘පධාන’ කියල කියන්නෙත් උත්කෘෂ්ට ප්‍රයත්නය කියන අර්ථයෙන්, බොහෝ දුරට සමාන අර්ථවත් වචන - වායාම, විරිය, පධාන කියන ඒවා. ඉතින් මෙන්න මේ සම්මප්පධාන නමින් හඳුන්වන, එහෙම නැත්නම් සම්මා වායාම නමින් හඳුන්වන, වීර්යය බුදුරජාණන් වහන්සේ හතර ආකාර හැටියට දක්වලා තියෙනවා. ඒවා කෙටියෙන් හඳුන්වන්නෙ මෙන්න මේ වචන වලින්. සංවර, ප්‍රහාන, භාවනා, අනුරක්ඛණ. සංවර කියල කියන්නේ වැසීම - අපි කෙටි තේරුම ගත්තොත්. පහාන කියල කියන්නෙ ඉවත් කිරීම. භාවනා කියල කියන්නෙ වැඩීම, අනුරක්ඛණ කියල කියන්නෙ රැක ගැනීම. ඉතින් මොකද මේ වීර්යය හතර ආකාර කරලා දැක්වුයේ කියන එක අපි ඊළඟට කල්පනා කර බලමු. බුදු පියාණන් වහන්සේ මේ චිත්ත සන්තානය ගලා යන ගඟක් වගේ එකක් කියල තේරුම් කරලා දීලා තියෙනවා. එතකොට ගලා යන ගඟක් වගේ ගති ස්වරූපය ඇති - ගති ස්වරූපය කියල කියන්නෙ අර ගමන් කරන, ගලා යන කියන අර්ථයෙන් - ඒ ගතිලක්ෂණය, එහෙම නැත්නම්, ගති ස්වරූපය ඇති දෙයක් හැටියට මේ හිත පිළිබඳව බුදුපියාණන් වහන්සේ විග්‍රහ කරලා තියෙනවා. එතකොට ඒක නිසාම මේ වීර්යය ඉතාම සීරුවෙන් දැරිය යුතු එකක්, ක්‍රමානුකූලව. ඇත්ත වශයෙන්ම ඒක හතර ආකාර වෙනවා.

ඒකට නිදසුනක් හැටියට ගන්න පුළුවන් - දැන් මේ පින්වතුන් දන්නවා වේගයෙන් ගලා යන ගඟක් හරහා වේල්ලක් බඳිනවා නම් ඒකට හතර ආකාර උත්සාහයක් අවශ්‍යයි. ඒ වේල්ල බැඳීමට කලින් අර ගලා එන අනවශ්‍ය ජලය වළක්වන්න ඕන. වසා දමන්න ඕන. ඊළඟට එතන රැඳිලා තියෙන අනවශ්‍ය ජලය ඉවත් කරන්න ඕන. ඒ අතරේ අර භාවනා කියන අර්ථයෙන් මෙතන මේ අපි ඊළඟට කියන්නෙ ඒ වේල්ල බැඳීම පිළිබඳ යම් කිසි ආරම්භක කටයුතු. ඒ ඒ දේවල් රැස් කරලා එතන වේල්ල බඳින්න පටන් ගන්න ඕන. ඊළඟට අනුරක්ඛණ කියන වචනයට ගැලපෙන ආකාරයට ඒක පිළිබඳ රැක්මක් යෙදෙන්න ඕන. ඒක රැක ගන්ට ඕන. ඒක ආයිත් ගසාගෙන යන්නෙ නැති විදියට ඒක තහවුරු කර ගන්න ඕන. ඔන්න ඔය කාරණා හතර ප්‍රකාශ වෙනවා ඇත්ත වශයෙන් බුදුපියාණන් වහන්සේ දක්වා වදාළ අර සතර සම්මප්පධාන කියන එකේ විග්‍රහයෙන්. අපි මේ තරම් කියන්නේ මොකද, මේ වීර්යය පිළිබඳව දැන් මේ කාලේ නොයෙකුත් අයගේ මතයක් තියෙනවා මේ සිත පිළිබඳ කටයුතු ගැන. මේක වීර්යයක් ව්‍යායාමයක්, උත්සාහයක්, ප්‍රයත්නයක් යෙදිය යුතු දෙයක් නෙවෙයි. හිත ඔහේ යන හැටියට බලාගෙන ඉන්න ඕන කියල. ඇත්ත වශයෙන්ම බෞද්ධ ප්‍රතිපදාවේ මේ තරම් ශ්‍රේෂ්ඨ හැටියට බුදුපියාණන් වහන්සේ ඉදිරිපත් කළ මැදුම් පිළිවෙත පිළිබඳ මූලධර්ම තේරුම් නොගැනීම නිසා මේ කාලේ බොහෝ දෙනා මේක ‘නිකම් ඉඳීමක්’ බවට පත්කරගෙන තියෙනවා. මේ ධර්මය ගැන හරි අවබෝධයක් නැති යම් යම් දාර්ශනිකයන් ඉදිරිපත් කළ මත ඔස්සේ ගිහිල්ල මේ ශාසනයේ තියෙන ප්‍රතිපත්ති මාර්ගය ගැන හරි අවබෝධයක් නැතිව මේක ‘නිකම් ඉඳීමක්’ හැටියට තේරුම් කරනවා. නමුත් ඒ විදියට හිත යන හැටියට ඔහේ යන්න දීලා බලාගෙන හිටියොත් මේකෙ වැඩේ කෙරෙන්නෙ නෑ. අන්න අර වේල්ල බැඳීම පිළිබඳ කතන්දරයයි හිතාගන්න තියෙන්නෙ.

ඉතින් මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය කියල කියන්නෙ ඇත්ත වශයෙන්ම ඒක හකුළුවලා දක්වනවා නම් ශීල, සමාධි, ප්‍රඥා. ශීල, සමාධි, ප්‍රඥා කියල කියන ත්‍රිවිධ ශික්ෂාවයි මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය තුළ තියෙන්නෙ. ශීලය කියල කියන්නෙ කය, වචනය පිළිබඳව තියෙන හික්මීම. සමාධිය කියල කියන්නෙ හිත එක්තැන් කර ගැනීම. ප්‍රඥාව කියල කියන්නෙ අර අවසාන වශයෙන් අනිත්‍ය, දුක්ඛ, අනාත්ම වශයෙන් විදර්ශනා වශයෙන් දැකීම. ඉතින් ඒක ගොනු කරලා තියෙන ඉතාමත්ම පැරණි ගාථාවක් දැන් මේ පින්වතුන් නිතර ආරක්ෂක ගාථාවක් හැටියට පවා පාවිච්චි කරනවා.

සබ්බ පාපස්ස අකරණං
කුසලස්ස උපසම්පදා
සචිත්ත පරියෝදපනං
ඒතං බුද්ධානසාසනං

අපි ඒක සිංහලයට නගලා තියෙනවා. මේ පින්වතුන් අහලත් ඇති.

හැම පවින් වැළැකු ම
කුසල් වෙතටම එළැඹු ම
සිත පිරිසිදු කැරැ ම
සස්න මෙයමැයි හැම බුදුන්ගෙ ම

මේක සනාතන ධර්මතාවක් හැම බුදුන්ගෙම - බුද්ධානුසාසනාව නොවෙයි, බුද්ධානං සාසනං - හැම බුදුවරුන්ගෙම පණිවුඩය මේකයි. ඒක තුළ තියෙන්නෙ ශීල, සමාධි, ප්‍රඥා. පවින් වැළකීම කියල කියන්නෙ ශීලය. කුසලස්ස උපසම්පදා කියල කියන්නෙ සමාධියට, ඒ ධ්‍යානවලට එළඹ වාසය කරනවා කියල කියන එකයි. කුසල චිත්ත ඒකග්‍රතා වශයෙන් සලකුවාම, අන්න කුසලයට එළඹීම කියන එක තුළ තියෙන සමාධි චිත්තය කියවෙනවා. ඊළඟට ‘පඤ්ඤාය පරිසුජ්ඣති’ කියල ධර්ම පාඨයක් තියෙනවා, බුද්ධ වචනයක් තියෙනවා. ඒ ආශයෙන් අපට හිතාගන්න පුළුවන් අවසාන වශයෙන් ප්‍රඥාවෙන් තමයි පිරිසිදුකම ලැබෙන්නෙ. සිත පිරිසිදු කිරීම ඉහළම මට්ටමින් කෙරෙන්නෙ ප්‍රඥාවෙන්. ඉතින් මේ ත්‍රිවිධ ශික්ෂාව පුරන්න වීර්යයක් අවශ්‍යයි, ව්‍යායාමයක් අවශ්‍යයි. ඒක නිකම් කෙරෙන්නෙ නෑ. ඉබේ කෙරෙන්නෙ නෑ. මේක නිකම් හිත දිහා බලං හිටි පමණින් කෙරෙන්නෙ නෑ. ඒ වීර්යය සීරුවෙන් කළයුත්තක්, ක්‍රමානුකූලව කළ යුත්තක්, අනුපිළිවෙලින් කළයුත්තක්. ඒකයි බුදු පියාණන් වහන්සේ දක්වන්නෙ අර මහ මුහුද, මහා සමුද්‍රය, ක්‍රම ක්‍රමයෙන් ගැඹුරු වෙන්නා වගේ මගේ ශාසනයේ තියෙන්නෙ අනුපිළිවෙලක්. අනුපුබ්බසික්ඛා අනුපුබ්බකිරියා අනුපුබ්බප්‍රතිපදා - අනුපිළිවෙලින් යන ශික්ෂණයක්, අනුපිළිවෙලින් යන ක්‍රියාදාමයක්, අනුපිළිවෙලින් යන ප්‍රතිපදාවක්. අන්න ඒ විදියේ මහ පුදුම අන්දමේ හේතු ප්‍රත්‍ය සම්බන්ධතාවෙන් බැඳුනු, පුදුම අන්දමේ ක්‍රියාවලියක් තුළිනුයි මේ විමුක්තිය ලබාගන්න පුළුවන් වන්නෙ.

ඉතින් ඒක තව දුරටත් අපට පැහැදිලි වෙනවා අර සතර සම්මප්පධාන නමින් හඳුන්වලා තියෙන එකෙන්. ඒක ඉතාමත්ම ගැඹුරු කාරණයක්. ඒක ඒ වගේම ප්‍රායෝගිකයි. අර බුද්ධිවාදීන්ට, අන්ත වශයෙන් අර බුද්ධියටම මුල් තැන දෙන කෙනාට මේ ධර්මයේ නියම රසය විඳින්න බෑ. නියම සුවඳ ලබාගන්න බෑ. නමුත් මෙන්න මේ ‘සම්මප්පධාන’ තුළිනුයි ඒක ලබා ගන්න පුළුවන්. ඉතින් සතර සම්මප්පධාන මේ විදියටයි හඳුන්වලා තියෙන්නේ. අපි ඒ පාලි පාඨ කිව්වට ඒවට සිංහල වචනය යොදනව. හිතේ තියා ගන්න, සමහර විට මේවා පිළිබඳ ගැටළු අවොත් විසඳගන්න පුළුවන් වෙන්න, අපි ඉස්සෙල්ල පාලි පාඨයක් කියනව. මෙන්න මේ විදියටයි තිබෙන්නේ. “අනුප්පන්නානං පාපකානං අකුසලානං ධර්මමානං අනුප්පාදාය ඡන්දං ජනෙති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්හාති පදහති” ඒ පාඨයේ තේරුම කිව්වම අනික් ඒවා තේරුම් ගන්ට පහසුවෙනවා. නූපන් අකුසල් නූපදවීම සඳහා ‘ඡන්දං ජනෙති’ කියල කියන්නෙ කැමැත්තක් ඕනෑකමක් ඇති කර ගන්නවා. ‘වායමති’ කියල කියන්නෙ වෑයමක් දරනවා. ‘විරියං ආරභති’ කියල කියන්නෙ වීර්යයක් ආරම්භ කරනවා. “චිත්තං පග්ගණ්හාති” කියල කියන්නෙ සිත දැඩිව පිහිටුවා ගන්නවා, අධිෂ්ඨාන කර ගන්නවා. ඊළඟට ‘පදහති’ කියල කියන්නෙ අන්න උත්කෘෂ්ටම ප්‍රයත්නයක් - දිවි නොතකා දරණ විදියෙ උත්කෘෂ්ට ප්‍රයත්නයක් - යෙදෙනවා. ඉතින් ඔන්න ඔය පද මාලාව යෙදෙනවා සතර සම්මප්පධානය පිළිබඳව. පළවෙනි එක එතකොට අපි කිව්වා නූපන් අකුසල් නූපදවීම සඳහා. ඒක හරියට අර සංවර කියන එකයි. ඊළඟට උපන් අකුසල් නෙරපා හැරීම සඳහා - උප්පන්නානං පාපකානං අකුසලානං ධර්මමානං පහානාය. උපන්නාවූ අකුසල් ප්‍රහානය කිරීම සඳහාත් ඒ විදියටම අර කියාපු ඡන්ද ආදියත් යෙදෙන්ට ඕන. ඊළඟට අපි කීවේ අර භාවනා පැත්තට ගැනෙන එක තමයි. ‘අනුප්පන්නානං කුසලානං ධර්මමානං උප්පාදාය’ නූපන්නාවූ කුසල් ධර්ම ඇතිකර ගැනීම සඳහාත් අර වගේ උත්සාහයක් දරන්ට ඕන. ඊළඟට අවසාන වශයෙන් කියන්නෙ උප්පන්නානං කුසලානං ධර්මමානං ඨිතියා අසම්මෝසාය භීය්‍යෝභාවාය වෙපුල්ලාය භාවනාය, පාරිපූරියා ඡන්දං ජනෙති, වායමති විරියං ආරහති චිත්තං පග්ගණ්හාති පදහති. අර බැම්ම තහවුරු කරන එකත් ලෙහෙසි පහසු වැඩක් නෙවෙයි නෙ. ඒක වෙන්න ඇති වචන රාශියක් එතන තියෙන්නෙ. උපන්නාවූ කුසල ධර්මයන් ‘ඨිතියා’ ඒවා ස්ථාවර කර ගැනීම තහවුරු කර ගැනීම සඳහා, ‘අසම්මෝසාය’ ගිලිහී යා නොදීම සඳහා, ‘භියෝභාවාය’ ඒවා වැඩි කර ගැනීම සඳහා, වැඩි දියුණු කර ගැනීම සඳහා, ‘වෙපුල්ලාය’ එහි විපුලත්වයට, මහත්වයට පැමිණවීම සඳහා ‘පාරිපූරියා’, සම්පූර්ණත්වයට පැමිණවීම සඳහා, අර වගේම ඡන්දයක් වෑයමක් වීර්යයක් ඒ වගේම උත්කෘෂ්ට ප්‍රයත්නයක් දරන්ට ඕන කියන එකයි.

එතකොට ඔන්න ඔය කියවුන සතර සම්මප්පධාන කොයි තරම් පුදුම අන්දමින් බුදුපියාණන් වහන්සේ දක්වලා තියෙනවද, මේ සිත් ස්වභාවය අනුව. අර කියාපු ගඟක් වගේ ගලාගෙන යන සිතක්. ඒක බොහොම සීරුවෙනුයි කළ යුත්තේ. මේ වේල්ල බැඳීම කියන එක. ඒ වගේම තමයි මේ විමුක්තිය බලාපොරොත්තු වෙන පුද්ගලයා අර හතර ආකාර වීර්යය අවස්ථානුකූලව යෙදෙන්ට ඕන. ඊළඟට ඒකත් තවත් ඈතට යනවා. දැන් අපි තවත් කල්පනා කරලා බලනවා නම් අර වචන රාශියක් බුදු රජාණන් වහන්සේ මොකටද මේ යෙදුවේ වීර්යය පිළිබඳව. එතනත් තියෙනවා මහ පුදුම විදියේ ආරෝහණ ක්‍රමයක්. බුදු පියාණන් වහන්සේ මේ අපේ සිත යමකට යොමු වෙලා ඒක උත්කෘෂ්ට වීර්යය දක්වා යන චිත්ත පරම්පරාව වචන කීපයකින් හඳුන්වලා දීලා තියෙනවා. ඡන්දං ජනෙති කියල කියන්නෙ ඕනකමක් ඇති කර ගන්නවා. පළමුවෙන්ම ඕනකමක් ඇති වෙන්ට ඕන. කැමැත්තක් ඇති වන්ට ඕන. ඒකයි ආරම්භය. ඒකයි යොමු වීම. ඊළඟට වෑයමක් කරනවා. වෑයම කියන වචනය තුළ තියෙනවා එක්තරා ‘කරන්න පුළුවන්ද’ කියල බැලීමක්, මූලික උත්සාහයක්, ප්‍රයත්නයක්. ඊළඟට ‘විරියං ආරහති’ ඔන්න හරි ආකාරයටම වැඩෙට බහිනවා, වැඩේ ආරම්භ කරනවා. එහෙම කරගෙන යන අතරේ ඊළඟට බාධක එනවා. ඒ අවස්ථාවේදී තමයි ‘චිත්තං පග්ගණ්හාති’ කියන ආකාරයට සිත දැඩිව පිහිටුවා ගන්න ඕන. අධිෂ්ඨාන ශක්තිය ඉදිරිපත් කර ගන්න ඕන. එහෙම අධිෂ්ඨාන ශක්තිය ඉදිරිපත් කරගෙන ඔන්න ඊළඟට කරන්න බැරි හැටියට පෙනුන ඒ වැඩේ තමන්ගේ ජීවිතය පරදුවට තබලා ‘මේක අවශ්‍යයෙන්ම කළ යුත්තක්’ කියල තේරුම් අරගෙන උත්කෘෂ්ට ප්‍රයත්නයකින් තමයි කාර්ය සාධනය කර ගන්නෙ. ඒකටයි පදහති කියන වචනය. මේ වීර්යය පිළිබඳව යෙදෙන පද මාලාවේ උත්කෘෂ්ටම වචනය නමයි ප්‍රධාන කියන වචනය. ඒක අර අපේ සාමාන්‍ය සිංහල භාෂාවේ ‘ප්‍රධාන’ කියන අර්ථය නොවේ. පාළි භාෂාවේ ප්‍රධාන කියලා යෙදෙනවා මේ උත්කෘෂ්ට වීර්යය කියන අර්ථයෙන්. ඔන්න එතකොට ඒ ‘ඡන්ද’ ආදී ඒ කාරණය පිළිබඳවත් මේ පින්වතුන්ට කෙටියෙන් සඳහන් කළා.

ඊළඟට බුදු පියාණන් වහන්සේ දක්වන ඒ බෝධිපාක්ෂික ධර්ම අතර ඇතැම් විට මේ පින්වතුන් සමහරු අහලත් ඇති, වීර්යය පිළිබඳව ඔය සතර ආකාර සම්මප්පධානය වගේම වැදගත් කාරණයක් තිබෙනව. ප්‍රතිපදාව පිළිබඳව උනන්දු අයට එතන ඉද්ධිපාද හතරක් ගැන කියවෙනව. ඉද්ධිපාද - ඉද්ධි කියන එක අපි සෘද්ධිය කියල කියන කොට අපිට එකපාරටම හිතෙන්නෙ කවුරු හරි අහසින් යන එක. නමුත් පින්වතුනි සෘද්ධිය කියල කියන්නෙ ඉෂ්ට කර ගැනීම, සමෘද්ධ කර ගැනීම, සාර්ථක කර ගැනීම, කියන අර්ථවත් වචනයක්. එදිනෙදා ජීවිතේ පවා යමක් පිළිබඳ සමෘද්ධියක් ඇතිකර ගැනීමට අවශ්‍ය වන දේවල් තමයි ඉද්ධිපාද කියල තියෙන්නෙ. පාද කියල එතනත් යෙදෙන්නෙ සමෘද්ධ කර ගැනීමට උපකාර වන කාරණා. ඒ විදියේ කාරණා හතරක් බුදුපියාණන් වහන්සේ මතුකරලා දක්වනවා මෙන්න මේ විධියට, ඡන්ද, විරිය, චිත්ත, වීමංසා කියල. ඒවා ඇත්ත වශයෙන් මෙතන කියවුනා යම් යම් ආකාරයකට, දැන් ඡන්දං ජනෙති, වායමති ආදී වචනවලින් කියවෙච්ච ඒ වීර්යයෙම සාරයම තමයි මෙතන මේ ඉද්ධිපාද හැටියට දැක්වෙන්නේ. ඇත්ත වශයෙන්ම බුදුපියාණන් වහන්සේ දක්වන ආකාරයට අර කියාපු විදියට මේ හතර ආකාර සම්මප්පධානයේ යෙදෙන පින්වතාට, ඒ යෝගාවචරයාට, තමාගේ චරිතානුකූලව යම් කිසි දෙයක්, එහෙම නැත්නම් තමන් කරන ප්‍රයත්නය පිළිබඳ සාර්ථකත්වයේ රහස, තේරුම් ගන්න පුළුවන් අවස්ථාවක් එනවා. ඒ ඒ පුද්ගලයාගේ චරිතානුකූලව තමන් දරණ වීර්යයේ සාර්ථකත්වය පිළිබඳ රහස වෙනස් වෙන්න පුළුවන්. ඇතැම් කෙනෙක් ඡන්දය ඉදිරිපත් කරගෙන තමන්ගේ බලාපොරොත්තු ඉෂ්ටකරගන්නව. ‘ඡන්ද’ කියල කියන්නෙ ඕනෑකම කැමැත්ත. ඒ විදියේ කට්ටිය තමයි අර ලෝකයේ අහන්න ලැබෙන්නේ “මම හිතුවොත්, මොහොකට හරි මට ඕනෑකමක් ඇති වුනෙත්, මම ඒක කරලා මිසක් ආපසු බලන්නෙ නෑ” කියන අන්න ඒ චරිත. ඊළඟට ‘විරිය’ කියල කියන වීර්ය චරිත. ඒ අර කියාපු ඡන්දං ජනෙති, වායමති ආදී ඒ උත්සාහය තුළින්මයි මේ තමා තුළ සාර්ථකත්වය පිළිබඳව ඇති රහස තේරුම් ගන්නෙ. දෙවෙනි එක වීර්යය. ඇතැම් කෙනෙක් ඉන්නවා “මම යමකට වීර්යය දැරුවොත් ඒක කරලමයි නවත්වන්නේ. ආයි පසුබහින්නෙ නෑ” කියල කියන. ඊළඟට තවත් කෙනෙක් ඉන්නවා අන්න චිත්ත කියන ඉද්ධිපාදය - “මම යමක් පිළිබඳව අධිෂ්ඨාන කරගත්තොත්, ඒ අධිෂ්ඨානය අනුවම පවතිනවා. ඒක කොහොම හරි ඉෂ්ටකර ගන්නව.” අන්න චිත්ත කියන ඉද්ධිපාදය, ඒ තැනැත්තාට. ‘වීමංසා’ කියලා කියන්නේ විමසුම් නුවණ. ඒක කෙළින්ම අතන කියවුනේ නෑ. නමුත් ඒ තුළින් හිතා ගන්න පුළුවන් ප්‍රඥාවයි. මේ වීමංසා කියන ඉද්ධිපාදය මුල්කරගන්නෙ ප්‍රඥා චරිතයා. ඒ කියන්නෙ විමසුම් නුවණ. “මේක කොහොමද කියලා කරලා බලන්ට ඕන. මේක මට ටිකක් කුතුහලයක් තියෙනවා. මේ කියන එක ඇත්තද කියල” අන්න එහෙම ඉදිරිපත් කරගෙනත් මේ වීර්යයේ යෙදෙන අය ඉන්නවා.

ඉතින් මේ කාරණය අපි මේ ධර්ම වලින් කියාපු එක බොහෝ විට ඒ විදියේ දේවල්වලට ඒතරම් රුචියක් නොදක්වන සාමාන්‍ය කෙනෙකුට තේරුම් ගන්න උපකාර වෙන උපමාවක් අපට දක්වන්න පුළුවන්. අපි හිතමු යම් කිසි ගල්කුළක් තිබෙනව අපට අපේ කටයුතු වලට කරදරයක් හැටියට තියෙන එකක්. ඒක එහාට පෙරලන්න හිතෙනවා. ඉස්සෙල්ලම ඒකට ඕනකම ඇති වෙනවා, කැමැත්ත ඇති වෙනවා. ඕනකම ඇතිවුන පමණින් ගල හෙල්ලෙන්නෙ නැති නිසා, ඊළඟට මොකද කරන්නෙ යම්කිසි වෑයමක් දරනවා. මේක මට පුළුවන්ද උස්සන්න එහාට පෙරලන්න කියල පොඩි ව්‍යායාමයක් දරනවා. ව්‍යායාමය කියන එක ඇත්ත වශයෙන්ම අර තමන්ගේ ශක්තිය උරගා බැලීමක්. මොකක් හරි මේක යටට දාලා, යකඩ ඉන්නක් එහෙම දාලා, බලනව උස්සන්න පුළුවන්ද කියල - අන්න වායමති. ඉතින් චන්දං ජනේති වායමති. ඊළඟට විරියං ආරභති. එහෙම පුළුවන් කියල තේරුම් ගත්තට පස්සේ ඔන්න වීර්යයක් අරඹනව. හෙමින් හෙමින් අරක උස්සන්න පටන් ගන්නව. ඒක උස්සලා එහා පැත්තට ගන්න කිට්ටුවෙන කොට ඔන්න පේනවා මේක ලේසි වැඩක් නෙවෙයි. සමහර විට මේ පැත්තට අදගෙන වැටෙන්නත් පුළුවන්. හිත සමහර විට දුර්වල වෙන්නත් බලනවා. අන්න ඒ වෙලාවේ දැඩි අධිෂ්ඨානයක් ඇති කර ගන්නවා. “මම මැරුණත් මේ පටන්ගත්තු වැඩේ අතහරින්නෙ නෑ” කියල එහා පැත්තටම පෙරළලා දානව. ඒකට තමයි අර ‘පදහති’ කියන වචනය යෙදිලා තියෙන්නෙ - පධාන වීර්යය. ඉතින් ඊළඟට මෙන්න මේ කියන ප්‍රයත්නයේ යෙදීම තුළින්ම කෙනෙකුට ප්‍රඥා ශක්තිය ඉබේටම ඇති වෙනවා. ඒ අන්දැකීම් තුළින් විමසුම් නුවණ ඇති වෙනවා. දැන් අපි කියන්නෙ කෙනෙකුට ‘පළපුරුදු කෙනෙක්’ කියල. මේ විදියේ වැඩක් පිළිබඳව අර ඒ ලබාගත්තු අත්දැකීම් සම්භාරයෙන් ඇති කර ගත්තු ප්‍රඥාව, විමසුම් නුවණ. ඉතින් ඔන්න ඕක තුළින් අපිට තේරෙනව අර සෘද්ධිපාදවල වටිනාකම.

මේවා සාමාන්‍යයෙන් ධර්මයේ හැඟිලා තියෙන දේවල් වගේ මේ කාලේ. නමුත් අපි ඒවා මතු කරලා ගත්තොත් අන්න විශේෂයෙන්ම ප්‍රායෝගික වශයෙන් මේ ධර්මය අත්දකින්න බලාපොරොත්තු වෙන පින්වතුන්ට, මේක ඉතාමත්ම වැදගත්. ඇතැම් විට අර බුද්ධිවාදීන්ට මේවා ඒතරම් රුචි නොවෙන්න පුළුවන්. දැන් එක්තරා රැල්ලක් යනවා. මේ පින්වතුන් තේරුම් ගන්න ඕන ඒක. මේ බුද්ධිවාදී ආකල්පයට අනුව ඒ අය ක්ෂණික සත්‍යාවබෝධය බලාපොරොත්තු වෙනව. ඇතැම් දේශනා තියෙනවා අර බුදු පියාණන් වහන්සේ ඒ මහා පාරමී පිරුණු ඔය බාහිය දාරුචීරිය ආදීන්ට දේශනා කරනවාත් එක්කම ඒ ක්ෂණයෙන්ම වගේ රහත් වුනු දේශනා තිබෙනව. අන්න ඒ දේශනා විසි තිස් වර අධ්‍යයනය කළ ඇතැම් විද්වතුන් එයින් ඇතුළත කිසි වෙනසක් නොවුනත් හිතා ගන්නව, තමන් අර ප්‍රඥාවන්ත, අර විශේෂ ගණයට අයිති අය කියල. ශ්‍රද්ධා, ශීල ආදී මූලික ගුණධර්ම අවතක්සේරුවට ලක්කරනව. ඒවා පිළිබඳ උනන්දුව නොදක්වා ක්ෂණික සත්‍යාවබෝධය බලාපොරොත්තු වෙනවා ධර්මය ඇසීම් පමණකින්. ඒක එහෙම පිටින්ම මිථ්‍යාවක්. මොකද, බුදුපියාණන් වහන්සේ දක්වලා තිබෙනව විමුත්තායතන වශයෙන් මේ නිවන් ලබා ගැනීමට උපකාර වන කාරණා පහක්. එකක් නොවෙයි. කෙනෙකුට මාර්ගඵල අවබෝධය ලබන්න පුළුවන් දහම් අසන විට, දහම් දෙසන විට, ධර්මය සජ්ඣායනා කරන විට, ධර්මය ගැන මෙනෙහි කරන විට, අවසාන වශයෙන් දක්වන්නෙ යම්කිසි සමාධි නිමිත්තක් ක්‍රමානුකූලව වඩන කොට. ඉතින් ඒ පහෙන් ඇතැම් කෙනෙක් කල්පනා කරනවා ඇසීම් පමණකින්ම ඔක්කොම ඉටුකරගන්න පුළුවන් කියල. එහෙම කරන්න පුළුවන් වන්නෙ අන්න අර විශේෂ පුද්ගලයින්ට. ඒක ඉතාමත් කලාතුරකින් සිදුවෙන්නේ. විශේෂයෙන්ම මේ යුගයේ ඒක ඉතාමත්ම දුර්ලභයි කියල හිතාගන්ට පුළුවන්. මහා පුණ්‍යවන්තයින් හිටිය, ඒ වගේම පුණ්‍යවන්තයින්ට අත දෙන්න පුළුවන් අනිත් අයගේ චිත්ත ශක්තිය පේන බුදුපියාණන් වහන්සේ වැනි අභිඥාලාභීන් සිටිය යුගයක තමයි කෙටි දේශනාවකින් ඒ ක්ෂණයෙන්ම රහත් භාවය කෙනෙක් ප්‍රත්‍යක්ෂ කරන්නේ. ඒ ප්‍රමණට කෙනෙක් හිතාගන්න නරකයි තමන්ට කොයිතරම් දිග උපාධි මාලාවක් තිබුණත් තමනුත් ඒ වගේ ඒ දුර්ලභ ගණයට අයිතියි කියල.

ඇත්ත වශයෙන් ධර්මයේ දැක්වෙනව තවත් ඒ වගේම විග්‍රහයක්. පුද්ගලයන්ගේ අවබෝධ ශක්තිය අනුව, ප්‍රතිපදාව අනුව, එක්තරා විග්‍රහයක් බුදු පියාණන් වහන්සේ දක්වනව. හතර ආකාර විග්‍රහයක්. දුක්ඛාපටිපදා දන්ධාභිඤ්ඤා, දුක්ඛාපටිපදා ඛිප්පාභිඤ්ඤා, සුඛාපටිපදා දන්ධාභිඤ්ඤා, සුඛා පටිපදා ඛිප්පා භිඤ්ඤා කියල පුද්ගලයින් හතර කොටසකට බෙදලා දක්වනව. දුක්ඛා පටිපදා දන්ධාභිඤ්ඤා කියල කියන්නෙ අපි සිංහලෙන් ගත්තොත් ඒක කියන්න පුළුවන් ප්‍රතිපදාව කියල මෙතන කියන්නෙ අර කියාපු ව්‍යායාම උත්සාහය ආදිය ඇතුළත් ක්‍රියාමාර්ගයයි. එතකොට, ප්‍රතිපදාව දුකසේ අවබෝධය හෙමින් ඒ පළමුවෙනි ගණය. ඊළඟට ‘ප්‍රතිපදාව දුකසේ අවබෝධය සැණින්’ - බොහොම ඉක්මණින් - ඊළඟට තුන්වන ගණය. ප්‍රතිපදාව සුවසේ අවබෝධය හෙමින්. හතර - ‘ප්‍රතිපදාව සුවසේ අවබෝධය සැණින්’. අන්න හතර වෙනි ගණය තමයි, අර ඛිප්පාභිඤ්ඤා කියල කියන ඒ ඉතාමත්ම උත්කෘෂ්ට විදියේ පාරමී ශක්තිය ඇති බාහිය දාරුචීරිය වැනි අය තමයි, ඒ හතර වන ගණයේ ඉන්නෙ. එතකොට ඒ ශක්තිය මේ හැමෝටම නෑ. ඒක තමන්ම තේරුම් ගන්න ඕන. ධර්මයේ සඳහන් වෙනවා ඒ ක්ෂණයෙන්ම සූත්‍ර දේශනාවක් අහලා රහත් වුනු, රහත් වීමට හේතු වුනු සූත්‍ර - ඇතැම් විද්වතුන් ඒවා මහත් අභිරුචියකින්, බොහොම ලොකු ඕනෑකමකින් ඒවා අධ්‍යයනය කරනවා - අධ්‍යයනය කරනවා. නමුත් ඒවා ප්‍රතිපත්තියට නගන්නෙ නෑ. දැන් බොහෝවිට තියෙන ආකල්පය තමයි මේ ධර්මය අධ්‍යයනය කිරීමෙන් මේවා ලබාගත හැකිය කියන එක. එහෙම පිටින්ම වැරදියි. ඒ ශ්‍රද්ධා ශීල ආදී ගුණධර්ම නැත්නම් - කොටින්ම ශ්‍රද්ධාව නැත්නම් - ශ්‍රද්ධාව බීජය හැටියට දක්වලා තිබෙනව, මේ ශාසනික ගුණධර්මවල. ශ්‍රද්ධාව නැති හදවත වියළි හදවතක්, එතැන ගුණධර්ම පැළවෙන්නෙ නෑ. එතකොට ශ්‍රද්ධාව නැතුව, සැක කරමින් මේක විවේචනයට - විචාරයට - භාජනය කරමින්, බුද්ධිවාදී ආකල්පයකින් ධර්මය අධ්‍යයනය කරනව නම් කීවරක් අධ්‍යයනය කළත් මාර්ගඵලයක් නම් ලැබෙන්නෙ නෑ. ලැබුණාය කියල හිතා ගැනීම මිසක්. ඉතින් අන්න ඒක නිසා අපි කල්පනා කරන්ට ඕන ඒ අපි බලාපොරොත්තු වුනාට මොකද ඒ තරම් ලේසි නෑ වැඩේ. එහෙම ලෙහෙසි නම් බුදු කෙනෙක් අවශ්‍ය නෑ මේ වැඩේට, බුදු කෙනෙක් පහළ වුනේ වෙන කිසිම ශාස්තෘවරයෙකුට අර තරම් අර දුෂ්කර ප්‍රතිපත්ති රැකලත් ලබාගන්න බැරි වුනු යම්කිසි විශේෂ කාරණයක් ඉදිරිපත් කිරීමටයි. ඒක පිළිබඳ මූලික සිද්ධාන්තය තමයි මධ්‍යම ප්‍රතිපදාව, මැදුම් පිළිවෙත. ඒ මැදුම් පිළිවෙත තුළ තියෙනවා අන්න අර කියාපු බුදු පියාණන් වහන්සේ අර හතර ආකාර වීර්යයක් දැක්වීමෙන් කළ, සීරුවෙන් දැරිය යුතු ප්‍රයත්නයක්, කලබල වෙලන් බෑ මේකට. අර විදියට හිත යන හැටියට යන්න දීලා බලාගෙන හිටීම කාමසුඛල්ලිකානු යෝගය විදියේ අන්තයක්. ඒ කියන්නෙ, ඔහේ යන්න අරිනවා. ඒ විදියට කරලත් බෑ. ඊළඟට දැඟලලත් බෑ.

ඉතින් මේකට තව කිට්ටු කරගන්න පුළුවන් වටිනා සූත්‍රයක් බුදු පියාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. ඒක ඕඝතරණ සූත්‍රය නමින් හැඳින්වෙනව. මේ පින්වතුන්ට, ඒ උපමාව ඉතාමත්ම ප්‍රයෝජනවත් වේවි, මේ මූලධර්මය වටහා ගැනීමට. එක්තරා අවස්ථාවක දේවතාවෙක් ඇවිල්ල බුදු පියාණන් වහන්සේගෙන් අහනව, “නිදුකාණෙනි” - දේවතාවුන් බුදු පියාණන් වහන්සේට අමතන වචනය සිංහලයට නගන්නෙ නිදුකාණෙනි කියල. “නිදුකාණෙනි, ඔබ කෙසේද මේ සැඩ වතුරෙන් එතෙර වුනේ?” කියල. එතන සැඩ වතුර නමින් හැඳින්වුයේ, ධර්මානුකූල අර්ථය ගත්තොත් කාම, භව, දිට්ඨි අවිජ්ජා කියන ධර්ම හතරයි. කාමෝඝය කියන එක මේ පින්වතුන් අහල තියෙනවනෙ. කාමෝඝය කියල කියන්නෙ කාම සැඩ වතුර, ලෝකය පුරා ගලාගෙන යනවා ඒක. කාම සැඩ වතුර ගලාගෙන යනවා. මේ ජීවිතය කියල කියන්නෙ මේ සැඩ වතුර හතර පිළිබඳ කාරණයයි. කාම, භව, දිට්ඨි, අවිජ්ජා. මේ ඔක්කොම සැඩ වතුරු වගේ. එතකොට මේ පැවැත්ම තුළ - පැවැත්ම කියන එක අර විදියටම අර ගති ස්වරූපී දෙයක්, මහ ගලා යන සැඩ වතුරක් මෙතන බුදු පියාණන් වහන්සේ මේ දක්වන්නෙ. එතකොට ඒ සැඩ වතුරෙන් එතෙරවන්නෙ කොහොමද? මේක ලේහෙසි පහසු වැඩක් නෙවේ. කාමෝඝ, භවෝඝ දිට්ඨෝඝ, අවිජ්ජෝඝ කියල කියන සැඩ වතුරු හතරක් තියෙනවා. මේකෙන් එතෙර වූයේ කොහොමද කියලයි මේ දේවතාවා අහන්නෙ. බුදු පියාණන් වහන්සේ දෙන පිළිතුර “අප්පතිට්ඨං අනායූහං” මම රැඳී සිටින්නෙන් නැතිව, දැඟලන්නෙන් නැතිවයි මේ සැඩ වතුරෙන් එතෙර වුනෙ. අන්න රැඳී සිටීම කියල කිව්වේ කාමසුඛල්ලිකානුයෝගය. ඊළඟට දැඟලීම කියල කිව්වේ අත්තකිලමථානුයෝගය. ධර්මමචක්කප්පවත්තන සූත්‍රය ආශයෙන් තේරුම් ගන්න පුළුවන් මේ පින්වතුන්ට. එතකොට ඊළඟට දේවතාව තවත් අහනව, “කොහොමද එහෙම කළේ” කියල තව විස්තර අහනව. ඒකට බුදු පියාණන් වහන්සේ පිළිතුරු දෙනව. “ඇවැත්නි” - ඇවැත්නි කියන්නෙ යාළුවා කියන අදහස වගේ - “ඇවැත්නි, මම යම් විටක නැවතී හිටිය නම් මම ගිලා බැස්ස. යම් විටක දැඟලුව නම් ගසාගෙන ගියා සැඩ වතුරට.” ඔන්න ඔය අන්ත දෙකයි. ඒ අන්ත දෙකෙන් ඉවත් වෙලයි මේ ධර්ම මාර්ගයේ යා යුත්තේ. එතනයි මැදුම් පිළිවෙත තිබෙන්නෙ. එතනයි මධ්‍යම ප්‍රතිපදාව තිබෙන්නේ.

ඒ නිසා වීර්යය ඔක්කොම අත්හැරලා හිත යන හැටියට බලාගෙන ඉඳල මේක ඉබේ කෙරෙන දෙයක් නෙවෙයි, හිතූ පමණින්. ඒ විදියේ ආකල්පයකට නැඹුරු වෙන්නෙ මොකද? දැන් මේ කාලේ සමාජ පරිසරය මේ පින්වතුන් දන්නවා. විද්‍යාව, තාක්ෂණය දියුණු වීම නිසා තම තමන්ගේ එදිනෙදා ජීවිතය ගෙදර දොරවල් වල මේ පින්වතුන් කටයුතු කර ගන්නෙ, අනික් කාර්යාලීය කටයුතු කර ගන්නේ, බොහොම ක්ෂණිකව. හැම එකම ක්ෂණිකයි. ක්ෂණිකව කර ගැනීමේ පහසුකම් සැලසෙනව මේ විද්‍යාවෙන්, තාක්ෂණයෙන්. ඒ ක්ෂණික භාවය මේ ධර්මයෙනුත් - මේ ධර්මාවබෝධය පිළිබඳවත් - ලබාගන්නයි දැන් බොහොම දෙනා කල්පනා කරන්නේ. ඒක මිරිඟුවක්. ඒක වැරදි අදහසක්. මොකද, ඒ අතීතයේ තිබුණු පරිසරය, ඇත්ත වශයෙන්ම ඒ ආධ්‍යාත්මික දියුණුවට රුකුල් දෙන පරිසරයක් අතීතයේ තිබුනේ. නමුත් දැන් තියෙන පරිසරය කොහොමද කියන එක මේ පින්වතුන්ට හිතාගන්ට පුළුවන්, එදිනෙදා ජීවිතය ගත කෙරෙන ආකාරයෙන්. කොයිතරම් සංකීර්ණ වෙලාද මේ භෞතික දියුණුව නිසා. එක පැත්තකින් මහ ලොකුවට දියුණුවක් වගේ පේනවා. නමුත් මනුෂ්‍යයා එන්න එන්නම තිරිසන් තත්ත්වයට, මහා භයානක අන්දමින් අත්ත පරිහානියට පත්වෙලා. යක්ෂ, තිරිසන්, ප්‍රේත තත්ත්වයට මේ සිත් පත් වෙලා තිබෙනව. ඒ විධියේ අවධියක, ඒ වගේම ඒකට, නිසි පරිසරයක් විවේක පරිසරයක්, සොයා ගැනීම දුෂ්කරයි මහා ගාලගොට්ටි සහිත නගරයක, ගමක පමණක් නොව කැළයක පවා, බොහොම අමාරුයි ඇත්ත වශයෙන්ම විවේක තැනක් හෝ ගන්න. ඒ විදියේ යුගයක වැඩියත්, වැඩිමනත් උත්සාහයක් දරලා සිය දහස් ගුණයක් වීර්යය වැඩි කරලා කරගත යුතු දෙයක්, නිකම් ඉඳලා කෙරෙනවද කියන එක තම තමන්ම හිතලා බලන්න ඕන. අන්න ඒක අනුව අපි හිතාගන්න ඕන, එතකොට මේ බුදු පියාණන් වහන්සේ දක්වා වදාළ මැදුම් පිළිවෙතේ අගය.

ඒක තව ටිකක් ගැඹුරින් තේරුම් කරනවා නම්, මේ පින්වතුන්ට කියන්න පුළුවන් දැන් අපි කිව්වනෙ අර දැඟලීම පිළිබඳ අන්තය. ඒක තේරුම් ගන්න අපට උපකාර වෙනවා නිගණ්ඨයින් ගෙන ගිය ප්‍රතිපත්තියත්, අපේ බුදු පියාණන් වහන්සේ සංඝයා වහන්සේලා පිළිබඳව අනුදැන වදාළ ප්‍රතිපත්තියත් අතර වෙනස. ඒක කෙටියෙන් දැක්වීමට අවස්ථානුකූලව, අපි මතුකර ගනිමු. දැන් මේ පින්වතුන් සමහර විට අහල ඇති සංඝයා වහන්සේලාට අයිති දෙයක් තමයි නමින්ට ලැබෙන සිව්පසය - සිව්පසය කියල කියන්නේ චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලානප්පච්චය කියන ජීවිතයක් පවත්වා ගැනීමට අවශ්‍ය දේවල් - ඒවා පාවිච්චි කිරීමේදී ගත යුතු ප්‍රතිපත්තිය බුදු පියාණන් වහන්සේ දක්වලා තිබෙනව, ප්‍රත්‍යවේක්ෂා කරන්නෙයි කියල. මේ ප්‍රත්‍යවේක්ෂා කිරීම කියන එක කෙටියෙන් හඳුන්වලා තියෙන්නෙ ඥාන සංවරය හැටියට. ඥානයෙන් කරන සංවරයක්. අපි ඉස්සෙල්ල ගනිමු නිගණ්ඨයින්ගේ ප්‍රතිපත්තිය. මොකක්ද? නිගණ්ඨයින් දැක්කා මේ ආහාරය වස්ත්‍රය කියන ඒවා ලෝකයා කාමයට ඇද ගන්න දේවල්. ඒක නගරයකට ගියත් පේනවනේ. ඒවා පිළිබඳව විලාසිතාවන් නිසා ලෝකයා කාමයට ඇදෙනව. ඒක නිසා නිගණ්ඨයින් ගත්තු අන්තගාමී ප්‍රතිපත්තිය මොකක්ද? වස්ත්‍රයත් ඉවත් කරලා ආහාරය පිළිබඳවත් - මේ පින්වතුන් අහල ඇති සමහර විට අසුචි ආහාරයට ගත්තු අයත් හිටියා ඒ කාලේ. ඉතින් අන්න ඒ විදියට, අන්න විකෘත තත්ත්වයකට පත්කරගත්ත අර ප්‍රයත්නය. දැඟලුවා.

නමුත් බුදු පියාණන් වහන්සේ ඒ වෙනුවට පෙන්නුවේ. මේ සිව්පසය ඇතුවත් බැරි, නැතුවත් බැරි, වගේ දේවල්. මේ භවය කියන්නෙ මොකක්ද ගලාගෙන යන එකක්. දැන් මේ පින්වතුන් දන්නවා, සැඩ වතුර ගලාගෙන යන තැනක දැන් මම මෙතන ඉඳලා එහා ගොඩට යනවා කියල හරියට ඉරක් ඇද්ද වගේ එතෙන්ට යන්න බෑ නෙ. වතුරට බැස්සට පස්සේ වතුරටත් - ගලාගෙන යන වතුරටත් - ටිකක් ඉඩ දීගෙනයි එහා පැත්තට යන්න වෙන්නෙ. දිය වැලකට අහුවුනා කියල හිතමු, මේ පින්වතුන්, පීනන අතරේ. දැඟලුවොත් මොකද වෙන්නේ - ඒත් බෑ. නිකම්ම හිටියොත් - ඒත් බෑ. සීරුවෙන්, ඥානවන්තව, ක්‍රමක්‍රමයෙන් ඕන ඒකෙන් මිදෙන්න. බේරෙන්න. අන්න ඒ විදියේ ප්‍රතිපදාවක් තමයි බුදු පියාණන් වහන්සේ දක්වන්නේ. එතකොට වස්ත්‍රය ඉවත් කරලවත්, ආහාරය අර විදියේ විකෘත අසුචි ආහාර වලට බැහැලවත් එහෙම නෙවෙයි, කරන්න තියෙන්නෙ. මේක ඥාන සංවර වශයෙන්, ප්‍රඥාවෙන්, මේක භාවනාවට නගල භාවිතා කරන, පාවිච්චි කරන ආකාරයයි බුදු පියාණන් වහන්සේ අනුදැන වදාළේ, ප්‍රත්‍යවේක්ෂා ක්‍රමයෙන්. අපි කෙටියෙන් සඳහන් කළොත්, එකක් දෙකක් විතරක් අරගෙන - ආහාරය පිළිබඳව මෙන්න මෙහෙම කියනවා. සංඝයා වහන්සේලා විසින් ආහාරය වළඳන්න කලින් මේ විදියට ප්‍රත්‍යවේක්ෂා කරන්නෙයි. ඒක ඇත්ත වශයෙන්ම භාවනාවක් වගේ. ’මේ ආහාරය මම ගන්නෙ අර ගිහියන් වගේ පොරබදන්න, විනෝදය සඳහා, ශරීරය ගොඩනගා ගැනීම, මස්පිඬු ගොඩනගා ගැනීම ඒ විදියේ දේවල් සඳහා නොවෙයි. හුදෙක් මේ බ්‍රහ්මචරිය වාසය, එහෙම නැත්නම් මේ නිවන් දැකීම, නිවන් ප්‍රත්‍යක්ෂ කර ගැනීම සඳහායි කියල, ඒ පරමාර්ථය පළමුවෙන්ම සළකනව.

  ඊළඟට දෙවනුව තවත් ඒකටම අදාළ එකක් තමයි. අර ආහාරයත් මේ ශරීරයත් පිළිබඳ භාවනාමය ආකල්පය. ඒක භාවනාවට නගනව, ධාතු වශයෙනුත් පිළිකුල් වශයෙනුත්. ධාතුකර්මස්ථාන කියල භාවනාවක් තියෙනවා පඨවී, ආපෝ, තේජෝ, වායෝ ධාතු වලින් හැදිච්ච එකක්, මේ ආහාරය. ඒ වගේම මේ ශරීරය. ඊළඟට මෙන්න මේ පඨවී, ආපෝ, තේජෝ වායෝ කියන මේ ධාතු වලින් හැදුනු මේ ආහාරය පිරිසිදු හැටියට තිබිලා මගේ මේ කිළිටි කුණු ශරීරය ඇතුළට වැදුනට පස්සෙ මේක කිළිටි තත්ත්වයට, අසුභ තත්ත්වයට එහෙම නැත්නම් අප්‍රිය තත්ත්වයට පත්වෙනවා. පිළිකුල් තත්ත්වයට පත්වෙනවා කියන එක මෙනෙහි කරනවා. අන්න එතනින් පේනවා එතකොට අර නිගණ්ඨයින් ඉවත දැමූ භය වුණු ආහාරය පිළිබඳ කාරණය බුදු පියාණන් වහන්සේ මැදුම් පිළිවෙතකින් විසඳූ ආකාරය. ඒ ආහාරයම නිවනට උපකාර කරගන්නා. මේකේ පරමාර්ථයත් - නිවන සඳහායි මේ ශරීරය පවත්වා ගන්නෙ. හුදෙක් යැපීම පිණිස. අද සාමාන්‍ය ලෝකයා, භවයේ රැඳී සිටීමට තැත්කරන ලෝකයා, ආහාරය පිළිබඳව කරන ඒ විලාසිතාවන් පැත්තට නොවෙයි. ඒ අතිධාවනයන් නොවෙයි. මෙතන කියන්නෙ. ‘හුදෙක්’ ඒ පිළිබඳ යම්කිසි පාලනයක් කෙරෙනව. මධ්‍යස්ථ මට්ටමකින් ඒවා දිහා බලලා ඊළඟට ඒක භාවනාවටත් නගනව. අන්න බුදු පියාණන් වහන්සේ දැක්වූ මැදුම් මග, ඒකෙනුත් පේනවා. එකක් දුන්නාම ඇති. ඉතින් ඒ අර සිව්පසය පිළිබඳවම ඔය විදියට ප්‍රත්‍යවේක්ෂා පාඨ තිබෙනව.

ඔන්න ඕව තුළින් අපි තේරුම් ගන්න ඕන එතකොට, අර මේ කාලෙ, කොතෙකුත් විශාල පිරිස් ඇදිල යනවා වැඩේ ලේසියි කියල. වැඩේ ලේසියි වගේ පේනවා. නමුත් ඒක තුළින් අන්න බරපතල මිථ්‍යා දෘෂ්ටියක් පැතිරෙනව, මේ මැදුම් පිළිවෙතට ප්‍රතිවිරුද්ධව. මේ ‘නිකන් ඉඳීම’ කියන එක ඇත්ත වශයෙන්ම බොහොම දෙනෙකුට ප්‍රිය දෙයක්. නිකන් ඉඳල මේවා ඔක්කොම ලබාගන්න පුළුවන් නම් ආයේ මොකටද වෙහෙසෙන්නේ? මොකටද සිල් රකින්නේ? මොකටද භාවනා කරන්නේ? ඇතැම් කෙනෙක් කියනව භාවනාව අනවශ්‍ය දෙයක් කියල. භාවනාව කියල හිතට පාලනයක් කරන්න ඕන නෑ. ඕහේ යන්න දීලා බලාගෙන ඉන්නව. ඒ අය වතුරට බැස්සොත්, අර සැඩ වතුරකින් එතෙර වෙන වේලාවේ හොඳට බලං හිටියොත් ඔන්න ඒ අයම කියාපු දේට විරුද්ධව ක්‍රියාකරන බව පේනව. එදිනෙදා ජීවිතයේ තම තමන්ගේ ඒ භෞතික ඕනෑ එපාකම් පිරිමසා ගන්න අන්න අර කියාපු සම්මප්පධාන, ඉද්ධිපාද ආදී දේවල්වලට තරමක් හරි කිට්ටු විදියට ක්‍රියාකරන්න ඒ අයට සිද්ධ වෙනවා. එයින් පේනවා අපට මේ අපේ චිත්ත සන්තානය පිළිබඳ මහ පුදුම ධර්මතාවක් බුදු පියාණන් වහන්සේ මතුකරල දීලා තිබෙන බව. මේක හරියාකාරව දැක්කා. මේකේ යථා තත්ත්වය දැක්කා. එහෙම දැකලා තමයි මේ මිනිස් සිත - එහෙම නැත්නම් මනුෂ්‍යයින්ගේ සිත ක්‍රියාත්මක වෙන්නෙ හතර ආකාරයටයි කිව්වේ. ඒ වගේම සීරුවෙන් ගතයුතු මධ්‍යස්ථ ප්‍රතිපදාවක් බුදු පියාණන් වහන්සේ දක්වා වදාළා. ඒක නිසා අපි මතුකර ගන්න ඕන මෙන්න මේ කාරණා. විශේෂයෙන්ම මේ නොයෙකුත් විදියේ මිච්ඡාදිට්ඨි පැතිරෙන යුගයක් නිසා, ඇතැම් කෙනෙක්, විශේෂයෙන්ම අර බුද්ධිවාදීන් කියල අපි කියන අය - නිග්‍රහයක් හැටියට කියනවා නෙවෙයි. නමුත් ඒ විදියේ ආකල්පයක් දැන් කාලේ යනව - ධර්මය පිළිබඳව අධ්‍යයනය කරල, ඒ පිළිබඳව යම් කිසි අවබෝධයක් තියෙනව. ඒ තුළින් ඒ උගත්කම නිසා ඇතැම් කෙනෙක්, එයින් ඇති කර ගත්තු දැනීම තුළින්, මේ ශාසනය පිළිබඳ සම්පූර්ණ අයිතිය තමන්ට තියෙනව කියල හිතනව. නෑ පින්වතුනි, මේ ශාසනය ත්‍රිවිධ ආකාරයි පරියත්ති, ප්‍රතිපත්ති, ප්‍රතිවේධ කියල තුන් ආකාර ශාසනයක්. පරියත්තිය විතරක් තිබුණ නම් අන්න ඒ උගතුන් ගත්තු මතය හරි. නමුත් මෙතන ඉගෙනීමට පමණක් සීමා වෙන්නෙ නෑ. ඒක ප්‍රතිපදාවට නගන්න ඕන - ‘ප්‍රතිපත්ති’. ඊළඟට ප්‍රතිපදාවේ කෙළවර තමයි ‘ප්‍රතිවේධ’ විනිවිද දකින්න ඕන විදර්ශනා ප්‍රඥාවෙන්. භාවනාවෙන් උත්කෘෂ්ට වශයෙන්. ඉතින් ඒක නිසා තමයි අතීතයේ බෞද්ධයින්ගේ ආදර්ශ පාඨය උනේ - දැන් මේ කාලේ කලාතුරකින් ඒක අහන්න ලැබෙන්නෙ - ‘සුණාථ, ධාරේථ, චරාථ, ධර්මේ’ ’අසව්, දරව්, හැසිරෙව් දහම්හී.

සුණාථ ධාරේථ, චරාථ ධර්මේ ‘අසව්, දරව්, හැසිරෙව් දහම්හී’. ධර්ම ශ්‍රවණය පිළිබඳවත් බුදු පියාණන් වහන්සේ දක්වලා තියෙන පාඨ වලින් ඒ කාරණය තවත් පැහැදිලි වෙනව. මේක ප්‍රායෝගික අර්ථයක් සඳහා දේශනා කළ එකක් බව. හරියාකාරව ධර්මය අසීම පිළිබඳව මෙන්න මේ විදියට සඳහන් වෙනවා. එහෙම නැත්නම් ධර්මය පිළිබඳ හරි අවබෝධයක් ඇති කෙනා පිළිබඳව මෙන්න මේ වචන සඳහන් වෙනවා. අසුවල් තැනැත්තා, අපි හිතමු මේ කාලේ හැටියට කියනවා නම් අසුවල් උගතා හරි අසුවල් පුද්ගලයා, ශ්‍රාවකයා විසින් ධර්මය - ඒකට ඊළඟට වචන රාශියක් යෙදෙනව ‘සුතා, ධතා, වචසා, පරිචිතා, මනසානුපෙක්ඛිතා, දිට්ඨියා සුප්පටිවිද්ධා. ඒ තැනැත්තා ධර්මය අසලා තිබෙනව - සුතා, ධතා - දරාගෙන සිටිනව, ඒක එක කණකින් අහලා අනික් කණින් පිට කළා නෙවෙයි. ඊළඟට ඒක පරිගණක යන්ත්‍රවල තැන්පත් කරලා ඒක පැත්තක දැම්මා නෙවෙයි. ත්‍රිපිටකය පරිගණක යන්ත්‍ර වල තැන්පත් කළ පින්වතුන් තුළ සමහරවිට ධර්මය නෑ. ඒක ක්‍රියාව පමණයි. ඒක ඇතුළට ගත්තෙ නෑ. අන්න අතීතයේ අර භාණක පරම්පරා ආදී වශයෙන් දැක්වෙන්නේ ඒ කාලේ ඒකශ්‍රුත පුද්ගලයින් හිටියා. ඇසූ පමණින්ම ඒවා දරා ගන්නව. ඒක ඊළඟට - අන්න ’සුතා, ධතා, ධර්මය දරා ගත්තා. ’ගෙදර මහ පොතක් ඇත ඒකේ නම මතක නැත’ කියලා අපේ පැරැන්නත් කථා පටන් ගත්තෙත් අන්න අර ධර්මය කටපාඩම් කිරීමේ සිරිත නැති වුනාට පස්සෙයි. ඉතින් ඒක මේ කාලේ නම් අනවශ්‍ය දෙයක් හැටියට, සමහර විට හාස්‍යජනක දෙයක් හැටියට, සළකනවා. නමුත් ප්‍රායෝගිකව ඒක ප්‍රයෝජනයට ගන්න බලාපොරොත්තුවෙන කෙනා ඒ ධර්මය අර සිංහ තෙල් රන් කරඬුවක තැන්පත් කරගන්නව වගේ හිත ධාරණය කරගන්නව. ‘සුතා, ධතා’ ධාරණය කරගෙන නවතින්නෙ නෑ. ‘වචසා පරිචිතා’ - වාචෝද්ගත කරන්න ඕන. ඉඳහිටලා මතක් කරගෙන කටපාඩම් කරගන්න ඕන. ‘මනසානුපෙක්ඛිතා’ ඊළඟට ඒක ගිරව් වගේ කීම නොවේ. ඒ වචන - ඒ කියන දේවල් - පිළිබඳව මනසෙන්, හිතෙන් පෙරළලා බලන්න ඕන, පරීක්ෂා කරන්න ඕන. ‘මනසානුපෙක්ඛිතා.’ එහෙම පරීක්ෂා කරලා බලලා, ‘දිට්ඨියා සුප්පටිවිද්ධා’ එහෙම පරීක්ෂා කරලා බලන කොට සම්‍යක් දෘෂ්ටියෙන් ඒක විනිවිද දකින්න හැකියාව ලැබෙනව.

ඔන්න ඔය වචන තුළින් එතකොට ධර්මය ප්‍රායෝගික දෙයක් බවයි පෙන්නුම් කෙරෙන්නේ. ධර්මශ්‍රවණය ප්‍රායෝගික අන්දමින් කරන්ට ඕන. ප්‍රායෝගික පරමාර්ථය ඇතිව ඒ ආකල්පය ඇතිව. ඒකම තවත් විදියකට දැක්වෙනව. ආර්යශ්‍රාවකයෙක් ධර්මය අසන ආකාරය දක්වලා තිබෙන්නේ මෙහෙමයි. ආර්යශ්‍රාවකයා, කොටින්ම මාර්ගඵල අවබෝධය ලැබෙන ආකාරයට ධර්මශ්‍රවණය කරන්නෙ කොහොමද කියන එක දක්වල තිබෙනව. ආර්යශ්‍රාවකයෙක් මෙන්න මේ විදියටයි අහන්නේ . ඒ ධර්මය පිළිබඳව ‘අට්ඨිකත්වා මනසිකත්වා සබ්බචේතසෝ සමන්නාහරිත්වා ඔහිතසෝතෝ ධර්මමං සුණාති’ යම් අවස්ථාවක ආර්ය ශ්‍රාවකයෙක් අට්ඨිකත්වා, කියල කියන්නෙ - ‘මේ ධර්මයෙන් මට වැඩක් ඇත’ කියන ඒ අදහස මුල්කරගෙන. මේක විමසලා බලලා, මේක ගැන පොතක් ලියල, උපාධියක් ලබාගන්න ඒ විදියේ පරමාර්ථයකින් නෙවෙයි. මෙයින් මට වැඩක් ඇතැයි. මගේ විමුක්තියට මෙයින් ප්‍රයෝජනයක් ඇත. කියන අදහසිනුයි ධර්මය අහන්නේ. අට්ඨිකත්වා. ඊළඟට ‘මනසිකත්වා’ ඒ අහන එක පිළිබඳව, ඒ අහන වේලාවේ පදයක් පදයක් පාසා මෙනෙහි කරනව. ‘ඔය කිව්වට ඕක මමත් දන්නව. මොකේ මොකක්ද ඔය කියන්න තියෙන්නෙ කියල.’ ඒ විදියට විතර්ක වලට විචාර වලට යන්නෙ නැතිව, අන්න ඒක පදයෙන් පදය මෙනෙහි කරනවා. ‘අට්ඨිකත්වා, මනසිකත්වා, සබ්බචේතසෝ සමන්නාහරිත්වා’ ‘හිත භාගයක් මෙතන අනෙක් භාගෙ ගෙදර’ එහෙම නෙවෙයි. ‘සබ්බචේතසෝ, සමන්නාහරිත්වා’ මුළු හිතම ඒකට යොමුකරල, අවධානය යොමුකරල, පූර්ණ අවධානය යොමු කරල. ‘ඔහිතසෝතෝ ධර්මමං සුණාති.’ කන් නමල අහනව. පැරණි වචනයක් ඕක. කන් නමලා අහනව. දැන් සතුන් නම්, තිරිසන් සතුන් නම්, ඇතැම් සතුන් කන් නමනවා අපට පේනව. මේ මනුෂ්‍යයින් කන් නමනවද නැද්ද කියන එක තේරුම් ගන්න බෑ බාහිරව බලල. නමුත් ඒක තමන්ට අයිති දෙයක්. කන් නමලා අහනව කියල කියන්නේ පූර්ණ අවධානය. එහෙම පිටින්ම - මේක අර කියාපු විදියට සම්පූර්ණයෙන්ම තමන්ගේ අවධානය යොමු කරනව. දැන් ඉතින් කන් වෙනුවට අපට නොයෙකුත් විදියේ විද්‍යාත්මක කන් රාශියක් ලැබිලා තියෙන නිසා අපි ඒවට අහන්න අරලා ධර්මය දේශනා කරන කොට පැත්තකට වෙලා බුදිය ගන්නව. ඊළඟට ඒක අර ‘ගෙදර මහ පොතක් ඇත ඒකෙ නම මතක නැත’ කිව්ව වගේ, ඒ වචන තවත් යෙදෙන්න පුළුවන් මේ කාලේ තියෙන යන්ත්‍ර වලට - පරිගණක යන්ත්‍ර කැසට් යන්ත්‍ර ආදිය. ‘අපේ ගෙදර කැසට් පටි රාශියක් තියෙනව හොඳම දක්ෂම හාමුදුරුවන්ගේ. නමුත් අසන්ට වේලාවක් නම් නැත.’ අන්න ඒ වගේ.

ඉතින් ඔය විදියේ ආකල්පයක් දැන් යන්නේ. ඒ කෙසේ වෙතත් අර කියාපු බුද්ධිවාදී ආකල්පය තියෙනව - ‘අයි අපට පුළුවන්නම් බොත්තමක් තද කිරීමෙන් ආලෝකය ඕන වේලාවට ඇති කර ගන්න, අයි බැරි මේ ප්‍රඥාලෝකය ඇති කර ගන්න පොඩි බණක් අසු පමණින්?’ අන්න ඒ විදියේ තර්කයක් නඟනව දැන් ඇතැම් කෙනෙක්. ‘මේ කාලේ ඉතාමත්ම දියුණුයි හඳට යන කාලේ. ඒ වැනි යුගයක අයි බැරි අර 2500 ක අතීතයේ, අර කරත්ත වලින් යන යුගයක මේවා ලබාගත්ත නම් ඇයි බැරි දැන්?’ කියල ඔය විදියට ප්‍රශ්න කරන අය ඇත්ත වශයෙන් අපි ලඟටත් ඇවිල්ල ප්‍රශ්න කරල තිබෙනව. ඒ අයට මතක් කරලා දෙන්න වෙනවා. ඒ කාලේ තිබුණු පරිසරයත් මේ කාලේ තියෙන පරිසරයත් අතර වෙනස. ඒ කාලේ ආධ්‍යාත්මික පරිසරය, මහ පුදුමයි. හැමෝම සත්‍යගවේෂී අය. බ්‍රාහ්මණයින් අතරත්, අනික් අයත් ඇත්ත වශයෙන්ම විමුක්තිය සඳහා විශාල උත්සාහයක් දැරුවා. සමහර විට නොමගට යොමු වුනාට මොකද. දැන් මේ කාලේ දුවන්නෙ කොයි පැත්තටද? භෞතික දියුණුව කරා. හැමෝම දුවන්නේ ඒකට. ඒ රැල්ලට අහුවෙලා. මිරිඟුවක් ඔස්සේ දුවනව. ඒ දුවන පිරිස අතර තමන් ඇත්ත වශයෙන් ධර්මයට හැරුනත් මහා බාධක රාශියක් මැද්දෙයි කටයුතු කරන්න වෙන්නේ. මේ ගිහි ගෙවල්වල ඉන්න පින්වතුන් අපට ඇවිල්ල කියනව. අපි නම් කැමතියි භාවනා කරන්න. නමුත් දරුවෝ රෑ තිස්සේ කරන්නෙ - ඒවා ඉතින් අපි කියන්න ඕන නෑ - ඒ ඉන්නෙ අන්න අහවල් අහවල් යන්ත්‍ර ඉස්සරහයි. එහෙම නැත්නම් මහා ගාලගොට්ටියක් මැදයි අපේ ජීවිතය ගෙවෙන්නෙ කියල. මහා කලකිරීමක් ඒ අය තුළ තියෙනව.

අන්න ඒ තුළින් අපට හිතාගන්න පුළුවන් ඇත්තවශයෙන්ම දෙගුණ තෙගුණ එහෙම නැත්නම් සියගුණයක් වීර්ය දරලයි මේ කාලෙ ඒ තත්ත්ව ලබාගන්න පුළුවන්. උපාධි තිබුණට, උගත්කම් තිබුණට, එපමණකින් මාර්ගඵල ලැබෙන්නෙ නෑ. ඛිප්පාභිඤ්ඤා ගණයට අයිති වෙන්නෙ නෑ තමන් හිතා ගත්තට. අන්න ඒ කාරණය අපි හොඳට ධාරණය කර ගන්න ඕන. ඒ විදියට කල්පනා කරන කොට අද මේ පින්වත් පිරිස චාම් ජීවිතයට පුරුදු වෙමින් මේ විශාල පිරිසක් අද පෝහෝය අටසිල් සමාදන් වුන, තවත් ඒ උසස් ශීලවල පිහිටියා. අන්න ඒ ශීලයේ වැදගත්කම. මුල්පියවර හරියට ගන්නෙ නැතිව අවසාන ප්‍රතිඵලය විතරක් ලබාගන්න බෑ. මේ ශීල, සමාධි, ප්‍රඥා එකිනෙකට සම්බන්ධයි. හේතු ප්‍රත්‍ය සම්බන්ධතාවකින් යුක්ත දෙයක් මේක. අර සම්මා දිට්ඨි සම්මා සංකප්ප ආදිය පිළිබඳව අපි බොහෝ අවස්ථාවල මතක් කරල දෙන ආකාරයට එක් එක් පියවර අතර පුදුම හේතු ප්‍රත්‍ය සම්බන්ධතාවක් ධර්මයේ තිබෙනව. ඒකයි අර අනුපිළිවෙලක් තියෙනව කියල කිව්වේ. ඒ අනුපිළිවෙල කඩලා බෑ. ඒක නිසා පටන් ගන්න ඕන හෝඩියෙන්ම. බිංදුවට බහින්න ඕන. ශීලයෙන් පටන්ගන්න ඕන. ශ්‍රද්ධාවෙන් පටන් ගන්න ඕන. මූලික වශයෙන් ශ්‍රද්ධාව. ශ්‍රද්ධාව මේ ශාසනයේ බීජයයි. ශ්‍රද්ධාව නැති හදවතකට ගුණධර්ම එකතු වෙන්නෙ නෑ. ශ්‍රද්ධාව ඇති කරගෙන තමයි ඊළඟට යම්කිසි ශාස්තෘවරයෙකු ළහට යන්නෙ. ‘සද්ධාජාතො උපසංකමති’ ඔය ආදී වශයෙන් බුදුපියාණන් වහන්සේ දක්වනවා. ළහට ගිහිල්ල ධර්මය අහලා, ඒක දරාගෙන හිතෙන් අර විදියට ඒ ගැන හිතලා. ඒ විදියට තමයි ක්‍රමානුකූලව ප්‍රතිපත්තියට බැහැලා - ලොකු ඡන්දයක් වීර්යයක් ඇති කරගෙන ප්‍රතිපත්තියට බැහැලයි - මේ පරමාර්ථ සාධනය කරගන්ට පුළුවන් වෙන්නේ.

එතකොට මේ වගේ දවසක බුදුපියාණන් වහන්සේ ධර්මචක්‍රය පෙරලුවාට මොකද ඒ ධර්ම වාක්‍යයේ ශක්තිය ඉක්මණින්ම මේ සමාජය තුළින් බැහැර වෙලා යන හැඩක් පේනවා අර කියාපු විදියේ මිථ්‍යා දෘෂ්ටි පැතිරීම නිසා. ඒක නිසා නුවණැති පින්වතුන් කල්පනා කරන්න ඕන. මුලින් කළ යුතුදේ පස්සට දාලා බෑ. මුලින් කළයුතු දේ එහෙම පිටින්ම ඉවත්කරලත් බෑ. ඒක නිසා ශ්‍රද්ධා ශීලාදී ඒ ගුණධර්ම මූලිකව සම්පූර්ණ කර ගන්න ඕන. ඒ ගුණධර්ම උඩ තමයි ඊළඟට හිත තැන්පත් කර ගන්න පුළුවන් වෙන්නේ සමාධි වශයෙන්. සමාධිමත් හිතටයි ප්‍රඥාව වශයෙන්, විදර්ශනා වශයෙන් අනිත්‍ය දුක්ඛ අනාත්ම තත්ත්වය තේරුම් යන්නේ. බුදුපියාණන් වහන්සේ දක්වා වදාළ ජාති ජරා ව්‍යාධි මරණ ආදී මේ සියලු සංසාර දුකින් අත් මිදුණු පරම ශාන්ත උතුම් අමා මහ නිවන ලබා ගන්න පුළුවන් වන්නේ, සෝවාන් සකදාගාමී, අනාගාමී, අරහත් කියන මාර්ගඵල ප්‍රතිවේධයෙන්. එතකොට මේ පින්වතුන් කල්පනා කර ගන්න ඕන මේ කෙටි වේලාව තුළ අපි මේ කරුණු රාශියක් කෙටියෙන් සඳහන් කළා. මේ පින්වතුන්ට තව තව හිතන්ට, මේ පිළිබඳව හිතලා විතරක් නවත්තන්නෙ නැතිව මේවායේ ප්‍රායෝගික අගය අනුව තම තමන්ගේ ජීවිතය සකස්කර ගැනීමටයි මේ කාරණා කීවේ.

එතකොට මේ ආශ්‍රයෙන් මෙතෙක් වේලා පැයක් පමණ වේලා මේ පින්වතුන් යම්කිසි ශීලයක පිහිටලා කය වචනය හික්මවා ගෙන අවධානය යොමු කරගෙන මේ විදියට ධර්ම ශ්‍රවණය කළා. ධර්ම ශ්‍රවණයත් පිනක් කියල කියන්නෙ කුසලයක් කියල කියන්නෙ ඒක තමන්ගේ නිවනට උපකාර වන දෙයක් නිසයි. ඒ ධර්ම ශ්‍රවණය ආනිසංස සම්පන්නයි. උපනිශ්‍රය සම්පත්තිය පවා ලබා දෙනවා. ඒ ධර්ම ශ්‍රවණයේ ආනිසංසයෙන් - අපි අර ආනිසංස කියල කියන්නේ ඇත්ත වශයෙන්ම මෙලොව වශයෙන් බලනව නම්, සන්දිට්ඨික අකාලික වශයෙන් බලනව නම්, ශ්‍රද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියන ඉන්ද්‍රිය ධර්ම, බල ධර්ම, නම තමන් තුළ වර්ධනය කර ගැනීමට මේ සුළු වේලාවත් අපි උපකාර කර ගත්තා කියලා ඒ ධර්ම ශක්තිය තුළින් - මේ පින්වතුන්ට දුර්ලභ කල්‍යාණ මිත්‍ර ආශ්‍රය අමාරුවෙන් හරි, කැළෑ මැදින් රිංගල හරි හමුවෙලා ලබා ගෙන, මේ ශාසන පහන නිවෙන්ට කලින් - අති භයානක සංසාරයෙන් අත්මිදීමට සෝවාන්, සකදාගාමී, අනාගාමී අරහත් කියන මාර්ගඵල ප්‍රතිවේධ මගින් උතුම් නිවන් ලබා ගැනීමට මේක උපනිශ්‍රය සම්පත්තියක්ම වේවායි ප්‍රාර්ථනා කර ගන්න. ඒ වගේම මේ රැස්කරගත්තු පුණ්‍ය ශක්තිය මේ විශ්වයේ යම්තාක් අවීචියේ සිට අකනිටා දක්වාවූ මේ විදියේ ධර්ම දේශනාමය ධර්මශ්‍රවණමය කුශලයක් අනුමෝදන් වීමට බලාපොරොත්තු වන සත්ත්වයින් ඇතොත් ඒ හැමදෙනෙක්ම මෙය අනුමෝදන් වී ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් අමාමහ නිවනින් සැනසෙන්වා කියන ඒ ප්‍රාර්ථනාවත් ඇතිකර ගෙන මේ ගාථා කියන්න.

‘එත්තාවතා ච අමෙහේහි ……………’